ෆෙයාර්ෆස්ට් කුසලාන එම්සීඒ ”එෆ් ” ක්‍රිකට් තරගාවලිය දියත් කෙරේ

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය (එම්.සී.ඒ.) විසින් සංවිධානය කරනු ලබන ”ෆෙයාර්ෆස්ට් රක්ෂණ කුසලානය ”සඳහා වූ එම්.සී.ඒ. ”එෆ් ” කාණ්ඩයේ පන්දුවාර 25 ලීග් ක්‍රිකට් තරගාවලිය දියත් කිරීමේ උළෙලට අදාළ මාධ්‍ය හමුව පසුගිය දා (29දා) කොළඹ-7 වෙළද සේවා ක්‍රිකට් සංගම් මූලස්ථානයේදී පැවැත් විණි.
ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් සිව්වැනි වරටත් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේ අදාළ අනුග්‍රාහක චෙක්පත වෙළඳ ක්‍රිකට් සංගමයේ සභාපති නලින් වික්‍රමසිංහ මහතා වෙත එහිදී ප්‍රදානය කරන ලද්දේ ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සන්දීප් ගෝපාල් මහතා විසිනි.
එම අවස්ථාවට ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය, ප්‍රධාන වෙළඳ නිලධාරී සංජය සිරිවර්ධන, වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ ලේකම් තරින්ද කලුපෙරුම සහ එම අනුග්‍රාහක කමිටුවේ සභාපති රොහාන් සෝමවංශ යන මහත්වරු සහභාගි වූහ.

කණ්ඩායම් 42ක් සහභාගී වන ෆෙයාර්ෆස්ට් රක්ෂණ කුසලානය සඳහා වූ එම්. සී. ඒ. ”එෆ් ” කාණ්ඩයේ පන්දුවාර
25 ලීග් ක්‍රිකට් තරගාවලිය අදියර දෙකකින් යුක්ත වේ. එහි පළමු අදියර ලීග් ක්‍රමයට පැවැත්වෙයි. තරග 57ක් ඊට
අයත් ය. පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන දෙවැනි අදියර තරග 7කින් සමන්විතය. තරගාවලියේ අවසන්
මහා තරගය අප්‍රේල් 03 වැනිදා පැවැත්වීමට නියමිතය.