මන්ත්‍රීවරුන්ට බදුරහිත V8 ලබා දෙන ලෝකයේ එකම රට ලංකාවයි

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA)හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක අයි.එස්. ජයරත්න මහතා විසින් පළකරන ලද සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශයට පත්වී තිබෙන අතර එහි ඇතුළත් කරුණු වල ඇති වැදගත්කම නිසාම එම තොරතුරු මෙසේ පළකිරීමටද තීරණය කළෙමු.

එම සටහන සම්පූර්ණයෙන් මෙසේය.

ඊයේ මාධ්‍යක වාර්තා කරල තිබුනා නැවැත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට Duty Free වාහන බලපත්‍ර ලබා දීමට මුදල් ඇමැති පසුගිය සඳුදා තිබුන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී එකඟ වූ බව. ඔවුන් කල්පනා කරනවා ඇති රටේ මිනිස්සු ගහල පන්නන්න කලින් වාහන බලපත්‍රේ වත් ගත්තොත් මදෑ කියලා. ඔය අතර මට මතක් වුනා එංගලන්තයේ මම අත්විඳපු දෙයක් ඔබ සමග හුවමාරු කරගන්න.

2021 නොවැම්බර් මාසේ මම එංගලන්තයේ Westminster Underground Station (උමං දුම්රිය ස්ථානය) එකේ මගේ බ්‍රිතාන්‍ය ජාතික මිත්‍රයකු සමග උමං දුම්රියක් එනකන් ඉන්නවා. එක්තරා පුද්ගලයකු පෙන්නලා මගේ මිත්‍රයා මගෙන් අහනවා ඔබ දන්නවද අර බෑග් එකක් එල්ලන් ඉන්නේ කවුද කියල. මම දැනගෙන හිටියේ නැහැ. මිත්‍රයා මට කියනවා ” ඒ තමයි එංගලන්ත පාර්ලිමේන්තුවේ කථානායක (Speaker)” කියල. කිසිම ආරක්ෂකයෙක් නැතිව ඔහු අපි නැගපු කෝච්චියට නැග්ග. අපි දෙන්නා ගමනාන්තයෙන් බැස්සා. කතානායක තව දුරටත් කෝච්චියේ යන්න ගියා. අපේ රටේ දේශපාලකයින් ගැන ඔබලාට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ප්‍රාදේශීය සභා මංත්‍රීවරයාගේ ඉඳල ඉහළට
හිතල බලන්න. අපි කොයි තරම් ඒ අයව ආරක්ෂා කරනවද? කප්පරක් ආරක්ෂකයෝ, ඉස්සරහින් රතු එලි ගහ ගත්ත වාහන, පිටිපස්සෙන් වාහන, මන්ත්‍රීතුමාට නැත්නම් ඇමැති තුමාට V8 Landcruiser එකක්, නැත්නම්, BMW 7 Series , Benz S Series එකක් වගේ අරන් දීල කොන්දට ආබාධයක් නොවෙන්න බලා කියා ගන්න එපාය. මොකද රට සංවර්ධනය කරන්න ඉන්න ඒ උත්තමයන්ල අපි රැකබලා ගන්න ඕන නේ. ඒ විතරක් ද, මැඩම්ට, දරුවන්ට වාහන, බල්ල ගෙනි යන්නත් රජයේ වාහනයක් සමහර අයට අවශ්‍යයි. ඒ වගේම ඇමැති තුමාගේ පෞද්ගලික කාර්ය
මංඩලය සඳහා වාහන සහ අනෙකුත් දීමනා රජය විසින් ලබා දිය යුතුයි.  එංගලන්ත පාර්ලිමේන්තුවට (House of Commons) මහ මැතිවරණයකින් වරකට මංත්‍රීවරු 650 ක් පත්කර ගන්නව. හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ වාඩි වෙන්න පහසුකම් තියෙන්නේ ආසන 427යි. එතකොට ඔබලා කල්පනා කරනවා ඇති අනික් මංත්‍රීවරු මොකද
කරන්නේ කියල . ඒ අය පාර්ලිමේන්තුව ඇතුලේ එක පැත්තක හිටගෙන ඉන්න ඕනේ.

ඒ වගේම, පාර්ලිමේන්තු එනවට දීමනා, ලාබෙට කන්න දෙන පාර්ලිමේන්තු බෝජනාගාර (Restaurant) කරකැවෙන පුටු, වගේ පහසුකම් එංගලන්තයේ මංත්‍රීලට නැහැ. බංකුවක් වගේ ආසනයක කිටි කිටියේ වාඩ්වෙලා ඉන්න මංත්‍රීවරු තමන්ගේ වාරය ආවහම නැගිටල කථා කරනවා. අපේ වගේ සත්තුන්ගේ නම් කියල කෑ ගහල බාධා කරන සිරිතක්
එංගලන්ත පාර්ලිමේන්තුවේ ආසාවකට වත් දකින්න නැහැ . ඉදිරි පෙළේ ආණ්ඩුවේ අගමැති සමග ඇමැතිවරු වාඩ්වෙනවා කථානායක වරයාගේ දකුණු අත පැත්තේ, ඒ වගේම වම් අත පැත්තේ විපක්ෂ නායක ඇතුළු එම පක්ෂයේ ප්‍රධාන පිරිස වාඩි වෙනවා මුල් පේලියේ. අනෙක් මංත්‍රීවරු තමන්ගේ අදාල පැත්තේ වාඩි වෙනවා. බොහොම විනය ගරුක විදිහට ඔවුන් තමන්ගේ වාරය එනකන් ඉඳල අදාළ අදහස් දැක්වීම කරනවා. අනික මංත්‍රීවරයකු
පාර්ලිමේන්තු එන්නේ බොහෝ විට වැදගත් පනතක් සාකච්ඡා කරන දවසක හෝ එයාට කථාවක් තියන දවසක. ඒක නිසා පාර්ලිමේන්තුවේ ඉඩකඩ ප්‍රශ්නය තදින් බලපාන්නෙත් නැහැ . අනික පාර්ලිමේන්තු සැසි online යන නිසා එයාලට ඕනෑම වෙලාවක මොනවාද වෙන්නේ කියල දැනගන්න පුලුවන්. එංගලන්තයේ ඇමැති තුමන්ලාට මහලොකු
වැටුප් නැහැ . ඇත්තම කිව්වොත් මගේ ලොකු පුතාගේ වාර්ෂික වැටුපට වඩා අඩූයි එංගලන්තයේ අගමැති තුමාගේ වාර්ෂික වැටුප. අනික පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නම් තම වාර්ෂික වැටුපෙන් 13.75% දායක මුදලක් ගෙවන්න අවශ්‍යයි. එතකොට තමන් ලැබූ අවසාන වැටුපෙන් 1/40 එකක් හෝ 1/50 ක් තමන්ට විශ්‍රාම
වයසේදි ලබාගන්න පුලුවන්. ලංකාවේ මන්ත්‍රීවරයකුට වසර දහයක් පාර්ලිමේන්තුවේ හිටියොත් සම්පුර්ණ විශ්‍රාම වැටුපට හිමිකම් ලබනවා. ජනාධිපති වරයකු විශ්‍රාම යෑමේදී සියලු වරප්‍රසාද , ආරක්ෂාව, නිළ වාහන , නිළ නිවාස , කාර්යාල පහසුකම් යනාදිය රජයේ වගකීමක් වී තිබෙනවා.

ඒ වගේම එංගලන්ත පාර්ලිමේන්තුවේ කිසියම් පනතක් ගැන අදහස් දක්වනන්නේ ඒ විෂය ගැන අවබෝධයක් තියන මංත්‍රීවරු පමණයි. අපේ පාර්ලිමේන්තුවේ බාර් මුදලාලි තමයි සෞඛ්‍යය ගැන කථා කරන්නේ. කුඩු මුදලාලි තමයි රටේ නීතිය ගැන කථා කරන්නේ. මිනීමැරුම් චෝදනා ලැබ ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබ හිරගෙදර සිටින
මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ අසුන්ගෙන අනපනත් වලට ඡන්දය ප්‍රකාශ කරනවා. ලෝකයේ එවැනි පාර්ලිමේන්තුවක් ඇත්නම් , එය ලංකාවේ පාර්ලිමේන්තුව පමණයි. එංගලන්තයේ අගමැතිට එක් නිළ වාහනයක් තිබෙනවා. රාජකාරි ගමනක් සඳහා අවශ්‍ය නම් පොලිස් බයිසිකල් කීපයක් ලබා දෙනවා. අගමැතිට අවශ්‍ය නම් තව එක වාහනයක් ලබා ගත
හැකියි. අනෙකුත් ඇමැති වරුන්ට තිබෙන්නේ වාහන සංචිතයක්. ඒකට කියන්නේ Government Car Service (GCS). ඒකේ උපරිම තියෙන්නේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ලද වාහන හෝ Low Emission (අඩු වායු
විමෝචන) වාහන 90 යි. ඇමැති වරුන්ට අයත් දෙපාර්තමේන්තු වලට මේ වාහන ඉල්ලීමක් කරල ලබාගන්න පුලුවන් . සමහර දෙපාර්තමේන්තු වලට වෙන් වෙලා තියෙන්නේ එක වාහනයක්. ඇමැති වරයෙක් නොවෙන නිළ වාහනයක් සහ රියදුරෙක් ලැබෙන එකම පුද්ගලයා විපක්ෂ නායකයා පමණයි. වෙන කිසිම රාජ්‍ය සේවකයකුට හෝ එංගලන්ත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වාහන බලපත්‍ර ලැබෙන්නේ නැහැ. පෙට්‍රල් දීමනා නැහැ. බොහෝ මැති ඇමැති වරු ගමන් බිමන් යන්නේ කෝච්චියේ. ඒ වගේම කිසියම් මංත්‍රීවරයකු තමන්ගේ ඡන්ද කොට්ඨාශයෙන් පිට හෝ London වලින් පිට පාර්ලිමේන්තු කටයුත්තකට සහභාගි වුනොත් , දිනකට කෑම සඳහා පවුම් 25ක දීමනාවක් පමණක් ලබා
දෙනවා. අරක්කු බොන්න හෝ වෙනත් fun ගන්න යන වියදම් ප්‍රතිපූරණය කරගන්න බැහැ . ඒ වගේම පාර්ලිමේන්තු පරිශ්‍රයේ තිබෙන ශරීර සුවතා මධ්‍යස්ථානය (Gym) පාවිච්චි කරනවා නම් මසකට පවුම් 25-30 ක දීමනාවක් ලබා ගත හැකියි. ගෘහස්ථ දුරකථනයට යම් දීමනවක් ලැබුනත් මොබයිල් දුරකථනය සඳහා කිසිදු දීමනාවක් රජයෙන්
ගෙවන්නෙ නැහැ. ඒ වගේම තමන් ප්‍රතීපූරණය කරගත්තු සියලු දීමනා පාර්ලිමේන්තු වෙබ් පිටුවේ විස්තර සහිතව ප්‍රසිද්ධ කරන්න ඕන. ඕනෑම පුරවැසියකුට ඒ වෙබ් පිටුවට පිවිසෙන්න පුලුවන්. ඒ වගේම කිසියම් මන්ත්‍රීවරයකු අයථා විදිහට මුදල් ලබා ගෙන තිබෙන බවට ඔප්පු වුවහොත් ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවෙනවා. ඒ වගේම තනතුර අහිමි වීමට පවා ඉඩ තිබෙනවා. ඒ වගේම එංගලන්ත පාර්ලිමේන්තුවේ 60%ක් මන්ත්‍රීවරු එසේ රජයෙන් ලබා දෙන දීමනා ලබා ගන්නේ නැහැ. ඒ අනුව , වාර්ෂිකව වෙන් කරන මුදලින් අවම පවුම් මිලියන 962 ක් ඉතුරු වෙන බව වාර්තා වෙනවා. අපේ නම් ඇමැති වරු කුඩයක් පවා ගන්නේ අමාත්‍යාංශයෙ සල්ලි වලින්. එංගලන්තයේ ජනගහනය මිලියන 67.2 ක්. හැබැයි කැබිනට් ඇමැති වරු ඉන්නේ 22යි. අගමැතිට බලය තිබෙනවා අවශ්‍ය නම් ඇමැතිවරු පත් කරගැනීමට. එහෙත් , සම්ප්‍රදාය අනුව එය සිදුවන්නේ නැහැ. මෙම කරුණු ඔබට තව දුරටත් තහවුරු කරගැනීමට අවශ්‍ය නම් GOV.UK වෙබ් පිටුවට පිවිසෙන්න.

අපේ රටේ ජනගහනය ඉන්නෙ දල වශයෙන් මිලියන 22.2 ක් වගේ. ඇමැති වරු 30 යි, රාජ්‍ය ඇමැති වරු 40. ඊට අමතරව , පලාත් සභා 9 ට ආංඩුකාරවරු, මහ ඇමැති සමග ඇමැති මංඩලයක් (හොඳ වෙලාවට දැං අක්‍රීයයි). දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති වරු තව කී දෙනෙක් අපි නඩත්තු කරනවාද? 2022 අයවැයෙන් මිලියන 85000 ක් ප්‍රාදේශීය සභා, පලාත් සභා , වගේම දිස්ත්‍රික් කමිටු සභාපති වරුන්ට වෙන් කරනු ලැබුවා. ඒ කුමක් සඳහාද කියා ඔබ දන්නවා ද? අපි මෙම දූෂිත පාලන ක්‍රමය වෙනස් කරමු. දූෂණයට හා වංචාවට තිත තබමු. ඉලක්ක ගත වැඩ පිළිවෙළකට අනුව මව්බිම නැවැත ගොඩනැගීම අරඹමු.

අයි . එස්. ජයරත්න

ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය SLIDA

10.3.2022