කොවිඩ් පාලන වැඩ සම්බන්ධීකරණයට හමුදාවේ 25ක්

‘කොවිඩ්-19’ වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලු‍ම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත් කර ඇත.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාපති සහ ‘කොවිඞ්ඩ්19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2021 ජනවාරි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ පත්කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පසුගියදා ජෙනරල් නිලයට උසස් කරන ලද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති වෙනුවෙන් පැවැති හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයෙන් අනතුරව අදාළ දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ලබාදීම යුද හමුදාධිපතිවරයාගේ සුරතින් සිදු කෙරිණි.
ඒ අනුව, නව පත්වීම් ලද සම්බන්ධීකාරක නිලධාරීන් ‘කොවිඞ්ඩ් 19’ වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ‘කොවිඞ්-19’ වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධ වන රෝග ව්‍යාප්තිය පාලනය, නිරෝධායන කටයුතු කිරීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම, මෙන්ම වෙනත් හදිසි අවස්ථා හා අවශ්‍යතා කළමනාකාරණය පිණිස ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජීවනය හා දිලිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇත.