ක්‍රිකට් සභාපතිගෙන් මුදල් ගෙන ක්‍රීඩා ඇමතිව අන්දන උපදේශක බහිරවයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම් කිහිපයක සිදුව ඇතැයි පැවසෙන දුෂණ, වංචා සහ මුල්‍ය අක්‍රමිකතා රාශියක් යටගැසීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක ලෙස කටයුතු කරමින් සිටින සුදත් චන්ද්‍රසේකර පියවර ගෙන තිබේ. මේ සඳහා ඔහු ජාතික ක්‍රීඩා සංගම් සභාපතිවරුන්ගෙන් විවිධ වරදාන වරප්‍රසාද ලබාගනිමින් සිටින බව වාර්තා වේ.
මේවනවිට සුදත් චන්ද්‍රසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් රු. ලක්ෂ 04කට ආසන්න ජංගම දුරකතනයක්, රු. ලක්ෂ 05කට ආසන්න ලැප්ටොප් පරිගණකයක් සහ මුදලින් රු. මිලියන 08කට ආසන්න මුදලක් (පසුගිය විස්සයි20 ලෝක කුසලානය නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාවට යාමට) ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ කුසලා සරෝජිනී වාර්තාවෙන් එම ඔස්ට්‍රේලියානු සංචාරයට අදාළ මුදල් අක්‍රමිකතා රැසක් හෙළිව ඇති අතර, සුදත් චන්ද්‍රසේකරද මුදල් ලබාගෙන ඇති නිසා ඔහුගේ නම මාධ්‍යයට හෙළිවීම වැලැක්වීම සඳහා මෙලෙස එම වාර්තාවේ නිර්දේශ යට ගැසීමට සහ අමාත්‍යවරයා, අමාත්‍යවරයාගේ බිරිඳ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් නොමග යවමින් සිටින බව අනාවරණය වේ.
පසුගිය විස්සයි20 ලෝක කුසලානය නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාවට යාමට ඔහුට ක්‍රිකට් බෝඩ් එකෙන් වීසා ලබාදී ඇති අතර, එය සම්බන්ධීකරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් උපභාණ්ඩාගාරික වන සුජීව ගොඩලියද්දය.
ඒ අනුව හොර රහසේම දින කිහිපයකට සුදත් චන්ද්‍රසේකර ඔස්ට්‍රේලියාවට ගොස් ඇති අතර, ඒ සඳහා වන මුදල් ලෙස ක්‍රිකට් බෝඩ් එකෙන් රු. මිලියන 08කට ආසන්න මුදලක්ද ලබාගෙන ඇති බව හෙළිවේ. ඔහුගේ නමට අදාලව ඔස්ට්‍රේලියානු රජයෙන් පිරිනමා ඇති වීසා බලපත්‍රය පිරික්සීමෙන් මෙය තහවුරු කරගත හැකිය.
ඔහු මේවනවිට ක්‍රිකට් බෝඩ් එකේ වංචා යට ගසමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඊට අදාළව අතුරු කමිටුවක් පත් කිරීම වැලක්වීමට දැඩි උත්සහයක් ගනිමින් සිටියි.
එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍යවරයාගේ බිරිඳ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් නොමග යවමින් බොරු බේගල් ඇදබාන බවටද අමාත්‍යාංශයේම පිරිසක් චෝදනා කරති.
අතුරු කමිටුවක් පත්කිරීම වැලක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල මුදලක් වැය කරමින් අල්ලාගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදේශක ලෙස කටයුතු කරන මේ සුදත් චන්ද්‍රසේකරව වීමද කනගාටුවකි.
ඒ අනුව මේවනවිට අති දුෂිතයින් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ක්‍රිකට් විධායක කමිටුව ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ඔහු අනුගමනය කරමින් සිටින බව වාර්තා වේ.

වත්මන් ජනාධිපති රනිලුත් උපදේශක තනතුරින් එළවලා
මෙම උපදේශක සුදත් චන්ද්‍රසේකර මීට පෙර වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර, ඔහුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ මේ ආකාරයෙන් වැරදි වැඩ කිරීම නිසා ඉන් ඉවත් කළ බව රටම දන්නා කරුණකි.
දැන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලංව ඔහුගෙන් උපදේශක තනතුරක් ලබාගෙන අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය විනාශ කරමින් සිටියි. මේ සඳහා මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම්වන ක්‍රිකට්, පාපන්දු, රග්බි සහ තවත් ක්‍රීඩා සංගම් කිහිපයක් යහමින් මුදල් වියදම් කර තිබේ.
අමාත්‍යවරයා වගඋත්තරකරුවෙකු කරමින් එම සංගම් නඩු පවරන්නේද මෙම මෙහෙයුමේ තවත් එක් කොටසක් ලෙසිනි.

ක්‍රීඩා අමාත්‍යවරයාද ඔහුගේ මෙම සටකපට ක්‍රියාවන්ට රැවටී සිටීම විස්මය දනවන කරුණකි.