බොක්සිං ක්‍රීඩක මැනී පැකියාවෝ පිලිපීන ජනපති සටනට

ලබන වසරේ පැවැත්වෙන පිලිපීන ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව සුපිරි බොක්සිං ක්‍රීඩක 43 හැවිරිදි මැනී පැකියාවෝ පවසයි. ජාත්‍යන්තර පැසැසුමට ලක් වුණු මැනී පැකියාවෝ, පිලිපීන වැසියන්ගේ වීරයෙකු ද වෙයි. ‘පැක්මෑන්’ යන ආදර නාමයෙන් ද හැඳින්වෙන පැකියාවෝ දේශපාලනයට පිවිසෙන්නේ 2016 වසරේදී පිලිපීන සෙනෙට් සභිකයෙක් ලෙසයි.

පිලිපීනයේ බලය තහවුරු කරගෙන සිටින්නේ වාමාංශික ‘පී.ඩී.පී. ලබාන්’ දේශපාලන පක්ෂය ප්‍රමුඛ සන්ධානය මේ වනවිට මත ගැටුම් හේතුවෙන්, දෙකඩ වී තිබේ. වත්මන් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ‘පී.ඩී.පී. ලබාන්’ පක්ෂයේ සභාපතිවරයා වන අතර ඔහුගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ව්‍යවස්ථාවට අනුව, ඔහුට යළි ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට හැකියාවක් නොලැබේ. ඒ අනුව ඩුටර්ටේ පවසා ඇත්තේ තමන් උපජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට සූදානමින් පසුවන බවය.

2022 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී උප ජනාධිපතිවරයා ද තෝරා ගැනීම සිදුවෙයි. යළි ජනාධිපති ධුරයට තරග වැදීමට නොහැකි බැවින්,’පී.ඩී.පී. ලබාන්’ පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩුටර්ටේ සහ පක්ෂයේ ඔහුට හිතවත් කණ්ඩායම නම් කර ඇත්තේ සෙනෙට්සභික ක්‍රිස්ටෝපර් බොන්ග් ගෝ ය.

පැකියාවෝ නියෝජනය කරන්නේ ද මධ්‍ය වාමාංශික ‘පී.ඩී.පී. ලබාන්’ දේශපාලන පක්ෂය වන අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුව නම් කර ඇත්තේ ‘පී.ඩී.පී. ලබාන්’ පක්ෂයේ ඩුටර්ටේ විරෝධී කණ්ඩායමය. ඒ අනුව, 2022 ජනාධිපතිවරණයේ සටන ඇත්තේ එකම පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු අතරේ බව මේ වනවිට එරට දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත.