කොවිඩ් නිසා ගර්භණී මව්වරු 60 ක් හා අවුරුදු 18ට අඩු දරුවන් 89 ක් මියගිහින්

කොරෝනා ආසාදිතව මේ වන විට මෙරට තුළ මියගිය සංඛ්‍යාව 14,641 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසන්නේ
තුන්වන කොවිඩ් රැල්ල හේතුවෙන් ගර්භණී මව්වරු 60 දෙනෙක් හා අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙක්ද
මේ වන විට මියගොස් ඇති බවයි.

මේ අතර කොවිඩ්-19 වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද
කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි ප්‍රකාශ
කළේ මුහුණු ආවරණ නොමැතිව කොළඹ නගරයේ ගමන් කරන පුද්ගලයින් සඳහා කොවිඩ් පරීක්ෂණ
සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ ඉදිරියේදී
සිව්වන මාත්‍රාවක්ද ලබාදීමේ හැකියාව පවතින බවත් එන්නත් කාඩ්පත ප්‍රවේශමෙන් භාවිත කළ යුතු
බවත්ය.
තවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියේ ඊයේ (12) දිනය තුළ කොරෝනා ආසාදිත
මරණ‍ 27 ක් සිදු වී ඇති බවයි.
එසේ මිය ගිය අය අතරට අවුරුදු 60 වැඩි පුද්ගලයින් 13 දෙනෙක්, වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්
සහ වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 13 ක්ද ඇතුළත් බවද ප්‍රකාශ විය.