විස්සයි20 ආරාධිත තරගාවලියේ ජය මධුවිතෙන් සමරා මහනුවර ‘ඕෂෝ’ හෝටලයේ කොවිඩ් පොකුරක් මතුවෙයි

‘ඕෂෝ’ හෝටලයට පිටින් ගෙනා අරක්කු හේතුවෙන් හෝටල් සේවකයෝ රැසකට කොවිඩ්

ක්‍රීඩකයෝ රැසක් එම හෝටලයෙන් ඉවත් කර මහනුවර ‘ග්‍රෑන්ඩ් කැන්ඩි’ හෝටලයට මාරු කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක් ලද ජයග්‍රහණයක් මධුවිතෙන් සමරා මහනුවර ‘ඕෂෝ’ හෝටලයේ කොවිඩ් පොකුරක් මතුව ඇති බව වාර්තා වේ. මෙහිදී ‘ඕෂෝ’ හෝටලයේ ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමකට ලක්ව ඇත්තේ එහි පැමිණි පිටස්තර පුද්ගලයින් සහ පිටින් ගෙනා අරක්කුවලින් බව හෝටල් කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

මෙම වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් හෝටල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට කොවිඩ්-19 ආසාධනය වී ඇති අතර, මේ හේතුවෙන් ක්‍රීඩකයෝ රැසක් ‘ඕෂෝ’ හෝටලයෙන් ඉවත් කර මහනුවර ‘ග්‍රෑන්ඩ් කැන්ඩි’ හෝටලයට මාරු කර යවා ඇති බව හෙළිවේ.

කෙසේ වෙතත් කොවිඩ්-19 ආසාධනය වුණු හෝටල් කාර්ය මණ්ඩලයේ පිරිස සහ අනෙකුත් ආශ්‍රිතයින් එම හෝටලයේ නිරෝධායනය නොකර කොවිඩ්-19 රෝගීන් 700ක් පමණ සිටින මහමෙවුනා කොවිඩ්-19 මධ්‍යස්ථානයට නිරෝධායනය සඳහා පිටත් කර යවා ඇතැයි වාර්තා වේ.

ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රෙඩ් කණ්ඩායම සහ බ්ලූ කණ්ඩායම අතර තරගය රෙඩ් කණ්ඩායම ජයගැනීමත් සමග ඊයේ (18දා) රාත්‍රියේ එය සැමරීමට පිටින් අරක්කු ගෙනවිත් කටයුතු කර ඇති බවත් රෙඩ් කණ්ඩායම වගකීම් විරහිතව හැසිරී ඇති බවත් එහෙයින් මේ ආකාරයෙන් කොවිඩ් ව්‍යාප්ත වී ඇති බවත් හෝටල් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම කොවිඩ්-19 ආසාධනය වී ඇතැයි වාර්තා වුණු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ද මෙම ජය සැමරීමට එක්ව ඇති බව අනාවරණය වේ. කෙසේ වෙතත් මේ සියල්ල වසන් කිරීමට එම ජෛව ආරක්ෂිත බුබුල කළමනාකරණය කරන වෛද්‍යවරයා වන චමින්ද නැමැත්තා කටයුතු කර ඇති බව අනාවරණය වේ.

කෙසේ වෙතාත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තමාගේ මඩිය තර කරගැනීමට මෙම තරගාවලිය සංවිධානය කළ බවට චෝදනා නැගෙන අතර, තරගාවලිය ආරම්භ වීමට පෙරම ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාධනය වී තිබුණද එය එතරම් තැකීමක් නොකර තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා, විධායක කමිටු සාමාජික උපභාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් ජානක පතිරණ කටයුතු කර තිබුණි.

මෙම තරගාවලිය සංවිධානය කිරීමේදී සහ පහසුකම් සැපයීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා, විධායක කමිටු සාමාජික උපභාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් ජානක පතිරණ යන අය ඉතා ඕනෑකමින් කටයුතු කර තිබුණු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයෝ පෙන්වාදෙන්නේ මේ ආකාරයෙන් මොවුන් මෙම ‘මීයට ඇත ගසා ඇත්තේ නිකන් ඇත ලෙවකෑමට’ නොවන බවයි.

කෙසේ වෙතත් පවතින කොවිඩ්-19 අවදානම මද මෙම තරගාවලිය තවදුරටත් පවත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කොවිඩ්-19 ආසාධනය වී මැරෙනකන්ද යන්නත් ඔවුහු ප්‍රශ්න කර සිටිති. ඉහත කී නිලධාරීන්ට අමතරව මෙම තරහාවලිය පවත්වා තවත් නිලධාරීන් කිහිපදෙනෙකුම ඔවුන්ගේ මඩිය තර කර ගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයෝ චෝදනා කරති.