ලබන වසරේදී ටී – 10 තරගාවලියක් ශ්‍රී ලංකාවේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සාර්ථකව පැවැත්වීමත් සමග ලබන වසරේදී ජාතික ටී – 10 ලීග් තරගාවලියක් පැවැත්වීම කෙරේහී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව ලබන වසරේදී පැවැත්වෙන් එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව අදාළ ටී – 10 ලීග් තරගාවලිය පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ලබන 2021 ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. එම තරගාවලියෙන් අනතුරුව 2021 පෙබරවාරි මස 01 සිට 12 වැනිදා දක්වා ටී – 10 ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිටත් අදාළ තරගාවලියේ කටුයතු සඳහා ටෙන්ඩර් කැඳවීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති වුවත් ලබන පෙබරවාරියේදී තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සුදානමින් පසුවේ.
ටී – 10 ලීග් තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ දඹුල්ල යන ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් හෝ හයක් සහභාගි වීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලබන ජනවාරි මාසයේදී ගාල්ලේදී පැවැත්වෙන අතර එම තරගාලියෙන් අනතුරුව ටී – 10 ලීගය ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටී. ‘ඔවු අපි ටී – 10 ලීග් ක්‍රිකට් තරගාවලියක් පවත්වනවා. එය නව සංකල්පයක්. එංගලන්ත සංචාරයෙන් අනතුරුව ලබන පෙබරවාරි මාසයේදී එම තරගාවලිය පැවැත්වීමට අපට බොහෝ දුරට හැකියාව ලැබෙයි’ යන්න ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.