ජනාධිපතිවරණයේදී කාදිනල්තුමා කතෝලික ඡන්ද වෙනස් කළා – හරීන්ගෙන් චෝදනාවක්

පසුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ඡන්ද වෙනත් මගකට යොමුකමින් දේශපාලන ක්‍රියාවලියක නියැළුණු බවත් එය තමන් පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටී. පොළොන්නරුව මැදිරිගිරිය ආසන බලමණ්ඩලයේ ඊයේ (21 වැනිදා) පැවැති රැස්වීමක් අමතමින් ඔහු මේ පිළිබඳ කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා ‘පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂගේ ඡන්ද වලින් සියයට පහක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණානම් මැතිවරණ ප්‍රතිඵලය වෙන්නේ සියයට හතළිස් හතයි හතළිස් හතයි ප්‍රතිශතයකින්. එහෙනම් දෙවැනි මනාපය ගණින්න වෙනවා. සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්‍ෂයට කතෝලික ඡන්ද සියයට අසූවක් පමණ ලැබෙනවා. එහෙනම් දිනන්නෙ සජිත් ප්‍රේමදාස.
මෙය දැනගත්ත ගෝඨාභය රාජපක්‍ෂ ගියා කාදිනල්තුමා හමුවෙන්න. එයා දුන්නා නියම උපදෙසක්. ඊට පස්සේ ඔය අදරදගුරුද අගරදගුරුද කියන කෙනා කැත දේශපාලනයක යෙදුනා. මම එයාට දුරකථනයෙන් කතා කරලා කිව්වා. එයා කිව්වනෙ පාස්කු ප්‍රහාරයේදී ඇමැති පුතා බේරුණා අපේ අය මැරුණා කියලා. ඒක මොන ආතබූත නැති කතාවක්ද?
මම මේවා ප්‍රසිද්ධියේ කිව්වෙ නැහැ. මගේ අම්මා බෞද්ධ තාත්තා කතෝලික. මටත් කතෝලික සම්භවයක් තියෙනවා. මේ සියයට පහ වෙනස් කරපු කට්ටිය තමයි මේ අය. මේ කැත දේශපාලනය ගැන මට හරිම හිරිකිතයි.