හිටපු ජනපතිට මැතිවරණ කොමිසමෙන් තවත් බාධාවක්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පොලොන්නරුව අරලිය හෝටලයේ පැවති පොලොන්නරුව දිස්ත්‍රික් විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ හමුවද මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව තේපැන් සංග්‍රහ පවා අත්හි‍ටුවීමට සිදු වී ඇති අතර ‘තමන්ට එල්ල කෙරෙන බලපෑම් ගැන කනගා‍ටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටී.
හිටපු ජනාධිපතිවරයා ඊයේ (20 වැනිදා) පොලොන්නරුවේදී සංවිධානය කළ රජයේ විශ්‍රාමිකයින්ගේ සුහද හමුවට මෙසේ මැතිවරණ කොමිසමේ නිලධාරින්ගේ බාධා එල්ල වී ඇති අතර එහිදී අදාළ සිද්ධිය පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු හෙතෙම මෙසේද කීය. ‘අද උදේ පාන්දරම මැතිවරණ කොමිසමේ නිලධාරි මහත්වරුන් ඇහුවා එන අයට කන්න දෙනවද කියලා.එතකොට මම කීවා දුරබැහැර ඉදලා එන අයට කෑම ටිකක් දෙනවා කියලා.එතකොට කීවා කෑමබීම දෙන්නත් බෑ කියලා. ඒ නිලධාරින් අහනවා කන්න බොන්න දීලා අල්ලසුත් දෙනවද කියලා. එතකොට මම කිව්වා මම කවදාවත් අල්ලස් දීලත් නෑ ,දෙන්නෙත් නෑ. මේ එන අය විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් පිරිසක්.
එදා වගේම මම කිව්වා කෑම බීම දෙන එකත් වැරදියි නම් නීතියට ගරු කරලා එකත් නොදී ඉන්නම් කියලා. නමුත් දුර බැහැර ඈත වැලිකන්ද, මාදුරු ඔය,ඇළහැර, බකමූණ, මැදිරිගිරිය,ලංකාපුර, හිගුරක්ගොඩ,දිඹුලාගල ඉදලා එන අයට කෑම ටිකක් තේ ටිකක් දෙන්න එපා කීවාම මට හිතට අමාරුයි.අරලිය හෝටලේට ඇවිල්ලා කේක් කෑල්ලක් බිස්කට් එකක් නොදී යවන එක මට හරිම හිතට අමාරුයි. මැතිවරණ කොමිසමේ සභාපතිට කතා කරන්න උත්සාහ කළා. නමුත් 2.30ට විතර තමයි ගන්න පුළුවන් වුණේ. පොලොන්නරුව මැතිවරණ කාර්යාලයේ නිලධාරින් කියලා තිබුණා අරලිය හෝටලෙත් ගන්න එපා මැතිවරණ ‍රැස්වීම්වලට කියලා. මම ඒ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිව දැනුම් දුන්නා.එතකොට සභාපතිතුමා මට කිව්වා,හෝටල්වල ශාලාවක් තුළ එහෙම ‍රැස්වීම් පැවැත්වීමට බාධාවක් නෑ කියලා.මම කනගා‍ටු වෙනවා,මැතිවරණ කොමිසමේ නිලධාරින්ට කවුරුහරි දුරකථන ඇමතුම් දීලා මම මගේ හිතවතුන්ට සංග්‍රහ කරන එකත් නීති විරෝධියි කියනවා. මෙහෙම මේ රටේ කවදාවත් වෙලා නෑ. නමුත් මම කනගා‍ටු වෙනවා අරලිය හෝටලයට ඇවිල්ලත් තේ එකක්වත් බොන්න නොදී ඔබට යන්නට සිදු වීම ගැන.”‍
හිටපු ජනාධිපතිවරයා සංවිධානය කළ වැඩසටහන් දෙකක්ම මැතිවරණ කොමිසමේ නිලධාරින් විසින් මේ වන විට අත්හි‍ටුවා ඇත. මීට දින කිහිපයකට පෙර විශ්වවිද්‍යාල සිසුන්ට තිළිණ ප්‍රදානයද මැතිවරණ කොමිසමේ නිලධාරින් විසින් අත්හිටවනු ලැබීය.