බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නිදොස් කර නිදහස් කරයි

බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඔහුට එල්ලවී ඇති සියලු චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියම කළේය. මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට ඔහුට චෝදනා එල්ලවිය.
ඔහුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අසමත්ව ඇති බව විනිසුරුවරයා මෙහිදී පවසා සිටියේය. පසුගිය මාර්තු මස අට වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාස නවයකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටියේය.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණි ජයනන්ද වලේබොඩ යන අයට මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
අසාද් සාලි මහතා නිදොස් කර නිදහස් කිරිමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ වෙනුවෙන්  වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.