බදුරලිය, එන්සීසී, රාගම සහ යුද හමුදාව පළමු පෙළ ක්‍රිකට් අවසන් පූර්ව වටයට

පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට බදුරලිය, එන්සීසී, රාගම සහ යුද හමුදා ක්‍රීඩා කණ්ඩායම් ඊයේ (07වැනිදා) සමත් විය.
ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය ලෙස බදුරලිය ක්‍රීඩා සමාජය සහ එන්සීසී කණ්ඩායම අතර තරගය හෙට (09 වැනිදා) සීසීසී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවැනි අවසන් පූර්ව තරගය එන්සීසී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර රාගම කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම එහිදී තරග වැදීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව වටය යටතේ ඊයේ පැවැති තරගවලින් බදුරලිය කණ්ඩායම හමුවේ මුවර්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්වූ අතර බදුරලිය කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න සම්පත් කඩුලු 4ක් දවාගත් අතර සඳුන් වීරක්කොඩි ලකුණු 70ක් ලබා ගත්තේය.
මුවර්ස් කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළ ලකුණු 154 බදුරලිය කණ්ඩායම විසින් කඩුලු 7ක් ඉතිරිව තිබියදී පසුකරන ලදී.
එන්සීසී කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ලකුණු 167කින් පරාජය කරමිනි. එන්සීසී කණ්ඩායම වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 107ක් ද නායක ඇන්ජලෝ පෙරේරා ලකුණු 94ක් ද ලබාගත් අතර ඔවුහු පන්දුවාර 50 අවසානයේදී ලකුණු 337ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී නාවික හමුදා කණ්ඩායමේ පූර්ණ චාරක කඩුලු 4ක් දවාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාවික හමුදා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 170කි. එන්සීසී කණ්ඩායමට ලකුණු 167ක ජයග්‍රහණයක් අත්විය.
රාගම ක්‍රිකට් කණ්ඩායම සහ ටැමිල් යුනියන් අතර පැවති තරගයෙන් රාගම කණ්ඩායම කඩුලු 6කින් ජයග්‍රහණය කළ අතර එහිදී රාගම කණ්ඩායම වෙනුවෙන් ජනිත් ලියනගේ ලකුණු 91ක් ද උදාර ජයසුන්දර නොදැවී ලකුණු 84ක් ද ලබාගත්හ.
ටැමිල් යුනියන් කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස්කළ අතර එහිදී යොහාන් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම අර්ධ ශතක වාර්තා කළහ.
ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ එස්එස්සී කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 17ක තියුණු ජයක් ලබමින් යුද හමුදා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.
යුද හමුදා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 198ක් ලබාගත් අතර එහිදී දුෂාන් විමුක්ති නොදැවී ලකුණු 55ක් ලබාගත් අතර එස්එස්සී කණ්ඩායම පන්දුවාර 47.1ක් තුළ සියලුදෙනා ලකුණු 181කට දැවී ගියේය. හිමේෂ් රාමනායක එස්එස්සී වෙනුවෙන් ලකුණු 54ක් රැස්කළ අතර අසේල ගුණරත්න සහ සුමින්ද ලක්‍ෂාන් කඩුලු 3 බැගින් දවා ගත්හ.