බංග්ලාදේශ දඟපන්දුව භාරගත් හේරාටත් කොවිඩ්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු රංගන හේරත්ට කොවිඩ්-19 ආසාධනය වී ඇති අතර, ඒ අනුව හේරත් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. ඔහුට කොවිඩ්-19 ආසාධනය වී ඇත්තේ නවසීලන්ත තරග සංචාරයකට එක්ව සිටින අතරතුරයි.
හේරත්ට අමතරව තවත් ක්‍රීඩකයින් හතර දෙනෙකු ඇතුළු බංග්ලාදේශ කණ්ඩායමේ සාමාජිකයින් නව දෙනෙකුගේ නිරෝධායන කාල සීමාව දීර්ඝ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ නවසීලන්තය බලා පියාසර කරන අතරතුර ඔවුන් අසල වාඩි වී සිටි මගියෙකුට කොවිඩ්-19 ධනාත්මක වීම හේතුවෙනි. එම ක්‍රීඩකයින් අතරට මොමිනුල් හක්, යසීර් අලි, ෆාස්ල් රබ්බි සහ මෙහෙදී හසන් මිරාස් ඇතුළත්ව සිටිති.
තරග 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලියට සහභාගී වීම සඳහා මේ වන විට නවසීලන්තයට පැමිණ සිටින බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ තත්ත්වය පැහැදිලි කරමින් එරට ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් මේ බව මාධ්‍යයට පවසා තිබුණි.