පොහොර සංස්ථාවේ ගිණුම් වාර්තා දෙන්නැයි බැංකුවලට නියෝග

මෙරටට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමට අදාළ වූ ආයතනයේ බැංකු ගිණුම පොහොර සංස්ථාවේ බැංකු ගිණුම හා ඉන්දීය රාජ්‍ය බැංකුවේ කොළඹ ශාඛාව ඇතුළුව බැංකු ගිණුම් තුනකට අදාළ බැංකු වාර්තා වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා බැංකු කළමනාකරුවන් වෙත නියෝග කළේය.

මේ අනුව පොහොර සංස්ථාවේ ගිණුම අයත් මහජන බැංකුවේ පුරහල ශාඛාව, ඉන්දියානු රාජ්‍ය බැංකුවේ කොළඹ ශාඛාව හා පොහොර ගෙන්වූ ආයතනයට අදාළ බැංකුව වෙත අධිකරණය මේ නියෝගය නිකුත් කළේය.

මෙරටට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා විසින් අවස්ථා කිහිපයකදී මාධ්‍ය මඟින් පවසන ලද ප්‍රකාශවල අන්තර්ගත සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් කරන විමර්ශනය සඳහා මේ කරුණු අවශ්‍ය බැවින් ඊට අදාළ අධිකරණ නියෝග නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීම අනුව මේ නියෝගය නිකුත් විණි.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉකුත් නොවැම්බර් 10 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කරමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට කළ ඉල්ලීම අනුව මේ විමර්ශනය ආරම්භ කර ඇත.

මෙරටට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම මඟින් මිලියන 8,000කට ආසන්න මුදලක් ඇමැතිවරයාගේ සාක්කුවට දමා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සඳහන් කර ඇති බවට කෘෂිකර්ම ඇමැතිවරයා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

සිරන්ජනි කුමාරි