බදියුදීන් යළි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (18දා) නියෝග කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මාස පහකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි සැකකාර හිටපු අමාත්‍යවරයා ඉකුත් 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරිණී.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (18දා) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා ය .