ISIS නායකයා මරා දැමූ බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි

ඊයේ රාත්‍රියේ වයඹ දිග සිරියාවේ එක්සත් ජනපද හමුදා විසින් සිදුකළ වැටලීමකදී ප්‍රධාන පෙළේ ISIS
නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි මරණයට පත්කරමින් “ලොවට ප්‍රධාන ත්‍රස්ත තර්ජනයක්”
ඉවත් කළ බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසීය.
සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ගුවන් ප්‍රහාරයක් වෙනුවට වැටලීමක් සිදුකිරීමට
තමන් තීරණය කළ බව ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය. එක්සත් ජනපද හමුදා ඔහුගේ
පරිශ්‍රය වෙත පැමිණෙන විට කුරේෂි සියදිවි නසාගත් බව නිලධාරීහු පවසති.
සිදුවූ ජීවිත හානි කොපමණ සංඛ්‍යාවක් ද යන්න පිළිබඳ බයිඩන් පරිපාලනය සහ සිරියානු සිවිල්
ආරක්ෂක කණ්ඩායමක් අතර විෂමතාවයක් තිබුණද, පිපිරීමෙන් සිවිල් වැසියන් කිහිප දෙනෙකුට
තුවාල සිදුවිය. එහෙත් පෙන්ටගනයට අනුව එක්සත් ජනපදයට කිසිදු හානියක් සිදුවී නොමැත.
මෙම මෙහෙයුම ISIS නායක අබු බකර් අල්-බැග්දාඩි ඝාතනය කළ 2019 මෙහෙයුමෙන් පසු එරට තුළ
එක්සත් ජනපද විසින් සිදුකළ විශාලතම වැටලීම විය.
මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ ධවල මන්දිර සම්බන්ධීකාරක බ්‍රෙට් මැක්ගුර්ක්, ISIS නායක අබු
ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි නොහොත් “හජ්ජි අබ්දුල්ලා” ගේ මරණයට තුඩු දුන් ඊයේ රාත්‍රියේ
සිදුකළ වැටලීම විස්තර කළේ “සම්පූර්නයෙන්ම හරිම සැලැස්මට අනුව” එය ක්‍රියාවට නැංවූ බවයි. තවද
ISIS මර්දනය සඳහා එක්සත් ජනපදය තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව බ්‍රෙට් පවසා ඇත.
සිරියාවේ සිටින එක්සත් ජනපද හමුදා භටයින් 1,000 ක් පමණ ISIS ට එරෙහි මෙහෙයුමට සහාය
දක්වමින් නැගෙනහිර සිරියාවේ ක්‍රියාත්මක වේ.