Moose Clothing ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සවිය දෙයි

විවිධත්වය සහ නවීන විලාසිතා රැගත් ඇඟලුම් සන්නාමයක් වන Moose Clothing සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට්හි 2022 තරග කාල සටහනට අදාළව මෙරට තරග සංචාරය සඳහා පැමිණෙන විදෙස් ක්‍රිකට් කණ්ඩායම්වල නිල අනුග්‍රාහකත්වය දැරීමට ඉදිරිපත්ව සිටියි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට සහයෝගය දක්වන ආයතනයක් ලෙස Moose Clothing, මීට පෙර ද අවස්ථා කිහිපයකදී ක්‍රිකට් තරගාවලි සඳහා සිය අනුග්‍රාහකත්වය පිරිනමා තිබේ. 2021 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ අතර, 2018 වසරේ  පැවති ශ්‍රී ලංකා- දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියටත් සම අනුග්‍රාහකත්වය ලබාදුනි.

″ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල විදෙස් කණ්ඩායම් අනුග්‍රාහක ලෙස ඉදිරිපත්වීමට ලැබීම අපට විශාල සතුටක්. මෙම සහයෝගීතාව Moose Clothing සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යන සන්නාම දෙකටම බෙහෙවින් ඵලදායී වනු ඇති බව අපට විශ්වාසයි″, යනුවෙන් Moose Clothing ප්‍රධාන විධායක නිලධාරී හසිබ් ඔමාර් මහතා ප්‍රකාශ කළේය.

සුවිශේෂී වටිනාකමකින් යුත් ජාත්‍යන්තර ඇඟලුම් සන්නාමයක් වීමේ පුළුල් දැක්මකින් කටයුතු කරන Moose Clothing ඇඟලුම් නිෂ්පාදන මේ වන විට, අප්‍රිකාව, මැදපෙරදිග සහ ඉන්දියාව යන වෙළෙඳපොළවල් කරා ගමන් ගන්නා අතර, ඉදිරියේදී යුරෝපය සහ අමෙරිකා එක්සත් ජනපදය වෙත ද අපනයන කිරීමේ සැලසුමක් පවතියි. තව ද, ගෝලීය විලාසිතා කර්මාන්තය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ දිගුකාලීන දැක්මක් ද සමාගම සතු වේ.