සංචාරක පාරාදීසියක් බඳු ශ්‍රී ලංකාව මාකට් නොකරන කරුමය

  • ඩොලර් නැහැ කියා රජය නහයෙන් අඩන්නේ මෙවැනි සංචාරක ඉල්ලුමක් ඇති රටක සිටගෙනය 

  • අසේල විතාන

ට්‍රිප් එකක් යන්න ආස නැත්තෙ කවුද? ලෝකවාසී බහුතරයක්ම ට්‍රිප් එකක් හෙවත් සංචාරයක් යන්න එක පයින් සූදානම්ය. ඒත් ඊට සරිලන ආර්ථික වපසරියක් තිබිය යුතුය. විදේශිකයන් සංචාරය කරන්නේ මේ ආර්ථික වපසරිය අනූවය. ශ්‍රී ලංකාව ඔවුන්ගේ සංචාරක තෝතැන්න වන්නේ ආර්ථික සමාජයීය සහ ශ්‍රී ලංකාවේ අලංකාරත්වය යන කරුණු සැලකිල්ලට ගෙනය. ඒත් මේ කතාව ඒ සියලු දේ රටක් විදිහට අපි කොතරම් දුරට කළමණාකරනය කරන්නේද යන්නයි.
තැබෑරුමක් ළග රුපියල් සියයට වඩේ දහයක් දෙන රාජා අයියා කෙනෙකු බීච් එකක් අයිනේ සුද්දට එම වඩයම පහුවෙනිදාට රුපියල් සියයට විකුණන්නේ නම් එය අපි අනුමත නොකරමු. මොකද සුද්දන් මෙහෙ එන්නේ සුද්ද වී ගෙදර යන්නට නොව රටේ තිබෙන පාලන මිලත් සමග ඉහත සඳහන් කළ සමාජයීය සංස්කෘතික සහ රටේ සුන්දරත්වය යන සියලු අංග ගැන අවබෝධයක් ලබාගෙන විනෝද වෙන්නටය. ලංකවේ බිස්නස් කළු කඩ ගාණට වැටෙන්නේ රාජ අයියලා මිලවල් දෙකකට බඩු විකුණන නිසාය. නමුත් රාජ අයියලා පාලනය වන්නේ රජයේ නීති රීතිවලට අනූවය. නීතිය තිබෙන්නේ ක්‍රියාත්මක කරන්නටය. එසේ නොකරනතාක් රාජා අයියලා මිල හිතෙන හිතෙන විදිහට වෙනස් කරනු ඇත.


සීගිරිය යනු ලොව අටවන පුදුමුය ලෙස හඳුන්වනු ලබයි. දැන් සීගිරි ගලේ නගින්නට සුද්දන්ගෙන් රුපියල් හය දහසක් පමණ මේ කාලයේ ලබා ගන්නා බව සංචාරක මග පෙන්වන්නෙක් ‘ශ්‍රීලංකන්ටයිම්ස්’ කළ විමසීමකදී පවසා සිටියේය. “ඇත්තටම මේක මහ අසාධාරණයක්. විදේශිකයන් සීගිරි යන්න වැඩිය කැමැති නැත්තේ මේ අසීමිත ගණනක් නිසා. ඔවුන් කියන්නෙ රුපියල් හය දහසක් අරගෙන අඩුම ගානෙ වතුර බෝතලයක්වත් දෙන්නෙ නැහැ කියලා. ඉස්සරට වඩා දැන් රුපියල් 1500 ක් විතර ටිකට් එක වැඩි කරලා. අවුරුද්දක් ගාණෙ එන සංචාරකයන් මේවා හොඳට දන්නවා. ඔවුන් ගණන් වැඩි කරාම යන්නෙ නැහැ.” යැයි එම සංචාරක මග පෙන්වන අප සමග පවසා සිටියේය.


වෘත්තියක් විදිහට සංචාරක කර්මාන්තයෙන් යැපුන අපේ එවුන් පසුගිය කාලයේ සිටියේ හොම්බ බිම ඇනගෙනය. යාන්තම් කෝවිඩ් තුරුන් වෙමින් යද්දී පසුගිය ජනවාරි මස පමණක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 86000 ක් පැමිණ තිබේ. මේ ගෙවෙන්නේ සංචාරක කර්මාන්තයට වැඩි ආර්ථික අස්වැන්නක් ලැබෙන කාලයකි. සංචාරක අමාත්‍යාංශය මේ කිසිවක් කළමණාකරනය කරන බවක් පෙනෙන්නට නැත. ඩොලර් නැහැ කියා රජය නහයෙන් අඩන්නේ මෙවැනි සංචාරක ඉල්ලුමක් ඇති රටක සිටගෙන වීමද අපි මතක් කළ යුතුය.
ලෝකයේ සංචාරක කර්මාන්තයෙන් පමණක් දියුණුව රටවල් බොහොමයක් තිබේ. මාලදිවයින ඉන් සුවිශේෂීය රාජ්‍යයකි. ඔවුන්ගේ රටේ ශ්‍රී ලංකාවේ තරම් පෞරාණික දේවල් නොමැත. විවිධ කාලගුණ තත්ත්වයන් ඇති ප්‍රදේශ නොමැත. අලි කොටි සිටින වනාන්තර නොමැත. නමුත් සංචාරක කර්මාන්තය අපූරුවට කළමණාකරනය කරමින් ඔවුන් ගොඩ ගොස් තිබේ. ශ්‍රී ලංකාව හැමදාම කකුල් කැඩිච්ච අශ්වයන් සමග රේස් දුවන්නාක් මෙන් කිසිම මොළයක් නැති නිළධාරීන්ගෙන් සංචාරක අමාත්‍යාංශයේ පුටු පුරවාගෙන එදාවේල ටුවර්ස් ක්‍රමයට ගමන යයි. නමුත් රටකට ඩොලර් ගෙනෙන්ට මේ සංචාරක කර්මාන්තය ඕනෑ තරම් සෑහෙනු ඇතැයි අපගේ විශ්වාසය වී තිබේ.
දියුණු රටවල් බවට පත්ව ඇති ප්‍රංශයේ වසරකට මිලියන 80 කට වඩා සංචාරකයන් පැමිණෙන බව සඳහන් වේ. මීට අමතරව ස්පාඤ්ඤයට,  ඇමරිකාවට, චීනයට, ඉතාලියට, තුර්කියට, මෙක්සිකෝවට, තායිලන්තයට වසරකට මිලියන 50 කට වැඩි සංචාරක ආර්ෂනයක් ලැබෙයි. මේ සියලු රාජ්‍යයන්වලට වඩා සංචාරය කිරීමට අපේ රටට මිනිසුන් පොළඹවා ගත හැක්කේ ශ්‍රී ලංකාවේ ඇති සුන්දරත්වයයි. නමුත් එය මාකට් කිරීමේ ක්‍රමවේදය තවමත් අදාළ නිලධාරීන් නොදැනීමද එක්තරා කරුමයකි.
පළමුව සංචාරකයන්ට විශ්වාසය තහවුරු වන පරිදි මිල දර්ශන සැකසිය යුතුය. ඔවුන්ව මං මුලා නොකරන්නට සංචාරක කර්මාන්තයේ නියැලෙන සියලු දෙනාට ඒ වෙනුවෙන් උචිත වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ කල් කිරියාව නිරීක්ෂණය කළ යුතුය. අපි සැම විටම සංචාරයන්ගේ පැත්තේ සිට ගන්නා රටක් බවට විදේශිකයාට එත්තු ගැන්විය යුතුය. ඔවුන්ගේ ගසා කන්නේ නැති බවද ඔවුන්ට තේරුම් යා යුතුය.
නමුත් දැන් සුද්දන් අපේ එවුන්ටත් වඩා මේ රටේ බඩු මිල හොඳින් දනියි. ඒ ‘ඇම්ඩන්’ වැඩ කරන රාජා අයියලාගෙන් ඔවුන් බැට කෑ ඇති බැවිනි. දැන් රුපියල් පනස් දහේ කාමරයක සිටින ඇතැම් සංචාරකයන් රුපියල් පන්දහසේ කාමර අරගෙන ඉතිරි මුදලින් විනෝද වෙන්නට පෙළඹී තිබේ. ඒ සෑම දෙයක්ම ගණන් නිසාය. ගණන් යා යුතුය. නමුත් සුද්දට සහ අපේ එවුන්ට ගණන් දෙකක් නොව එකක් ලෙසය.
අප කළ සොයා බැලීමකදී වාර්තා වුයේ රුසියාවෙන් බොහෝ සංචාරකයන් පසුගිය කාලයේ මෙරටට පැමිණ ඇති බවයි. එක් එක් රටවල තානාපති කාර්යාල හරහා අපේ රටේ සුන්දරත්වය ප්‍රචාරය කරමින් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. ජනාධිපතිවරයාට මේ සියලු දේ තනිව කළ නොහැකිය. නමුත් ඔහු ගෝල් එකක් අදාළ අමාත්‍යාංශයට හෝ අමාත්‍යවරයාට ලබාදිය යුතුය. ඩොලර් හිගයෙන් බේරීමට මෙවැනි දේවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි අපි විශ්වාස කරමු.
අපේ රටේ ක්‍රීඩා සංගමය් 63 ක් පමණ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වී තිබේ. ඉන් සංගම් භාගයක් හෝ විදෙස් ක්‍රීඩකයන්ව සහභාගි කරමින් තරගාවලි පැවැත්වීමද සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වනු ඇත. නමුත් ක්‍රීඩා සංගම්වලද එවැනි උද්දීපනයක් පෙනෙන්නට නැත. ක්‍රීඩා ඇමැතිවරයාද කතාවෙන් එවැනි දේවල් ප්‍රසිද්ධ කළාට ක්‍රියාවෙන් තවමත් එවැනි ඵලයක් අප දැක නැත. රට වටේම මුහුද ඇති සුන්දර ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කරන්නට සුදුසුම තැනකි. සංචාරකයන්ට අපේ රටේ ඕනෑ තරම් දේවල් රස විඳින්නට ඇත. නමුත් සිස්සටම් එක චේන්ජ් නොකළොත් සංචාරක කර්මාන්තයටද දෙයියන්ගේම පිහිට මිසක් අන් සරණක් නැත.