බූස්ටර් එන්නත් මාත්‍රාව සති දෙකකින් ලබා දී අවසන් කිරීමේ තීරණයක්. අප්‍රිකානු රටවල් සඳහා පැනවා තිබූ සංචරණ සීමාවත් ඉවත් කරයි

බූස්ටර් එන්නත් මාත්‍රාව ඉදිරි සති දෙකක කාලය තුළ ලබා දී අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂ කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් ලබාදී තිබෙන බවත් එළැඹෙන උත්සව
සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙවැනි තීරණයක් ගත් බවත් පැවැසෙනවා.

මේ අතර කොළඹ මහනගර සභාව සඳහන් කර සිටියේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන
බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද (10) සිට කොළඹ නගරයේදී ඇරඹෙන බවයි.

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ තවත් පියවරක් ලෙස එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු
වීම වැළැක්වීම සඳහා මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බවද තවදුරටත් වාර්තා වෙනවා. ඒ අනුව
එන්නත් කාඩ්පත නොමැති අයෙකුට ඉදිරියේදී පොදු ස්ථාන වලට ඇතුළුවීම තහනම් වනු ඇත.

ඒ අනුව එය සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය
කිරීමට කොවිඩ් කමිටුව අද තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටියේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ
ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසතෝ,
එස්වාටිනි යන රටවල් සඳහා පැනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.