ල.වි.මට දුරකතන කරච්චලයක් පැයට කෝල් 5000 ක් එනවලූ

මේ දිනවල රටේ පවතින කාලගුණික විපර්යාසය සහ කෝවිඞ් වෛරසයේ ව්‍යාප්තියත් සමග ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැඩි ලෙස අසරණව සිටින බවත් රටේ පවතින විදුලි බිඳ වැටීම් වාර්තා කිරීමට පැයකට දුරකතන පණිවුඩ පන්දහසකට වැඩි ප‍්‍රමාණයක් එන බවත් එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කරයි.
පසුගිය දින කිහිපයේදී එම දුරකතන අංක දෙකක් විසන්ධිවී තිබීම ජනතාවගේ දෝෂ දර්ශනයටද ලක්විය. ඒ අනූව සභාපතිවරයා සියලූ දෙනාගේම දැන ගැනීම වෙනුවෙන් මෙලෙස පණිවුඩයක් නිකුත් කර සිටියි.
‘‘දැනට උද්ගතවී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය නිසා දිවයින පුරා බහුල වශයෙන් විදුලිය බිද වැටීම් සිදුවන අතර අපගේ දුරකථන මධ්‍යස්ථානවලට පැයකට දුරකතන ඇමතුම් 5000 ක් පමණ ලැබෙමින් පවතී. එලෙස ලැබෙන දුරකථන ඇමතුම්වලින් 1/5 කට පමණක් පිළිතුරු ලබාදීමේ ප‍්‍රායෝගික දුෂ්කරතාවකටද අපි මුහුණ දෙමින් සිටින්නෙමු.
ලංකා විදුලිබල මණ්ඩලයේ අලූත්වැඩියා කණ්ඩායම්, පාරිභෝගික මධ්‍යස්ථාන 230 කට අනුයුක්ත කර පැය 24 පුරා අදාළ සේවයන් සක‍්‍රීයව යොදවා තිබේ.
මෙසෙ අයහපත් කාලගුණය සහ අධික විදුලි බිදවැටීම් නිසා අපගේ පාරිභෝගික ජනතාවට දැනට මුහුණ දීමට සිදුව තිබෙන බව දුෂ්කරතා සහ නොවැළැක්විය හැකි ප‍්‍රමාද දෝෂ පිළිබඳව දැඩි කනගාටුව පළ කරන්නෙමු.
අපගේ දෛනික කටයුතු යථා තත්ත්වයට පත්කර ගන්නා තුරු සිදුවී තිබෙන අනපේක්ෂිත තත්ත්වය නිසි ආකාරයෙන් අවබෝධ කරගෙන, මුහුණ දෙමින් සිටින දුෂ්කරතා අප සමග සහයෝගයෙන් කළමනාකරණය කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි
විජිත හේරත්
සභාපති
ලංකා විදුලිබල මණ්ඩලය