කාර් මිල අහස උසට නගියි

ප්‍රිමියෝ කෝටි 02 පනියි, විට්ස් ලක්‍ෂ 90යි,
පවුලේ වාහනය වන ත්‍රීවීලරය ලක්‍ෂ 20 ආසන්නයේ.. ස්කූටරය ලක්‍ෂ 05ක්

මෙරට වෙළඳපොළ තුළ මෝටර් රථ ඉතා විශාල වශයෙන් මිල ඉහළ ගොස් තිබේ. මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කර තිබීමත් තවත් වසරක කාලයක් ඉක්ම වන තෙක් ආනයනය තහනම ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේ අතර පාවිච්චි කරන ලද මෝටර් රථවල මිල සිටයට සියයකින් ඉක්මවූ මිල ගණන් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 2019 වර්ෂයේ ප්‍රිමියෝ රථයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් කෝටි දෙක ඉක්මවූ මිලකටයි. එම වසරේ ඇක්සියෝ රථයක් රුපියල් ලක්‍ෂ 120 ඉක්මවා ඇති අතර වසර 15ක් ඉක්මවා ඇති පැරණි ඇක්සියෝ රථයක් රුපියල් ලක්ෂ 65 ඉක්මවා මිලකට අලෙවි වන බව අනාවරණය වේ.

වසර පහක් පමණ පැරණි වන ‘විට්ස්’ රථයක්ද ලක්ෂ 90 පමණ මිලකට නම් කර ඇත. වසර තුන හතරක් පැරණි වැගන්ආර් රථයක් ලක්ෂ 65 ක සීමාවේ පවතී. මේ අතර වසර තුන හතරක් පැරණි ත්‍රීරෝද රථයක් ලක්ෂ 16-17 මිල ගණන් වල පවතී. සාමාන්‍ය යතුරු පැදියක් ලක්ෂ හතර පහ සීමාවේ පවතින අතර ස්කූටර් රථද එම මිල ගණන් ඉක්මවා අලෙවි වෙමින් ඇත.