32 වන රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලියට 400ක්

රිට්ස්බරි යළිත් වරක් ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය හා එක්වෙමින්, 32 වන රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලියට සිය අනුග්‍රහයකත්වය ලබා දෙයි.
මෙම තරඟාවලිය 2021 දෙසැම්බර් 26 සිට 30 දක්වා කොළඹ එස්.එස්.සී ස්කොෂ් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
රිට්ස්බරි මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරව කැපවන සන්නාමයක් ලෙස ස්කොෂ් ක්‍රීඩාව රට පුරා ජනප්‍රිය කිරීමේ සහ සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, මෙම තරගාවලියට අඛණ්ඩ අනුග්‍රාහකත්වය සැපයූ 13 වැනි වතාව මෙය වීම ද කැපී පෙනේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී, නිලුපුල් ද සිල්වා මහතා මෙසේ පැවසීය. “මලල ක්‍රීඩා, පිහිනුම් සහ රග්බි වැනි ක්‍රීඩා ගණනාවකට ම අපි සහය දක්වනවා. විශේෂයෙන්ම ස්කොෂ් ක්‍රීඩාව සමඟ ගෙවුණු දශකයකට වැඩි කාලයේ දී, විශාල ප්‍රගතියක් වාර්තා කර තිබෙනවා. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කලාපීය වශයෙන් දක්ෂතා දැක්වීම ඊට හොඳම නිදසුනක්. ඉදිරියේදී අපේ රටේ බොහෝ දිස්ත්‍රික්ක පුරා ස්කොෂ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම තුළින් ඉහළ ක්‍රීඩක සහභාගිත්වයක් ලබා ගැනීමත් අපගේ අරමුණක්. මේ වසරේදී 32 වන වරට පැවැත්වන රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා අපේ පූර්ණ දායකත්වය ලබා දීමට අපි කටයුතු කළා.ඒ සඳහා කනිෂ්ඨ ක්‍රීඩකයින්ගේ උද්යෝගිමත් සහභාගිත්වයක් දක්නට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි” යනුවෙනි.
වාර්ෂික තරග කාලසටහනේ ප්‍රධාන ඉසව්වක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති මෙම ශූරතාවලිය සඳහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට වැඩි පිරිසක් එක් වීමට නියමිත අතර ඊට ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන්ම සිටින කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සහභාගී වේි.
වයස අවුරුදු 9න් පහළ, 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, සහ 19න් පහළ පිරිමි හා කාන්තා වශයෙන් පැවැත්වෙන මෙම තරඟාවලයේදී නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය අපේක්ෂාවෙන් වයස අවුරුදු 11න් පහළ, 15න් පහළ ආධුනික කාණ්ඩය යටතේ ද තරග අංශ ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි. එසේම මෙරට කණිෂ්ට ක්‍රීඩකයන්ගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සඳහා අවැසි ලකුණු ප්‍රමාණයන් ලබා ගැනීමට මෙන්ම ලෝක ශ්‍රේණිග කිරීම් තුළින් ඉහළට යාම වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වූ වෘත්තීය ස්කොෂ් සංගමයේ ප්‍රථම ඒකාබද්ධ තරඟාවලිය ලෙසද මෙය හඳුන්වා දිය හැකිය.
වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ අවසාන තරගය 2021 ජනවාරි 2 වන දින කොළඹ එස්.එස්.සී ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේ දී පවත්වන අතර ජයග්‍රාහකයින් වෙනුවෙන් සම්මාන ප්‍රදානයද එහිදී සිදු වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති සුරේන් කොහොඹන්ගේ මහතා, මෙවර ශූරතාවලිය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “ අඛණ්ඩව 13 වැනි වරටත් අනුග්‍රහය දැක්වීමට නැවත වරක් ඉදිරිපත් වෙමින් අපගේ කනිෂ්ඨ ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය දැක්වීම පිළිබඳව රිට්ස්බරි හි කළමනාකාරිත්වයට කෘතඥ වෙනවා. මෙවර තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගි වන සාර්ථක තරගාවලියක් පැවැත්වීමට අපි සැලසුම් කරනවා.”
තරගාවලිය පිළිබඳ විස්තර, ශ්‍රී ලංකා ස්කොෂ් ලේකම් කාර්යාලයේ www’srilankasquash’com වෙබ් අඩවිය සහ Ritzbury Support,  FB පිටුව මගින් ලබා ගත හැක.