පාස්කු ප‍්‍රහාරය ගැන ඇමැති ප‍්‍රසන්නගේ ප‍්‍රකාශය සීඅයිඩී විමර්ශනයට

පාස්කු ප‍්‍රහාරය ගැන සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කළ බරපතළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පවත්වන විමර්ශනය වෙනුවෙන් තමා ඊයේ (17දා) පැය තුනක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ ප‍්‍රකාශයක් ලබා දුන් බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක‍්‍රිෂාන්ත පියතුමා පැවසීය.

පාස්කු ප‍්‍රහාර සිද්ධියට හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද වගකිවයුතු බවට සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පසුගිය වසරේ නොවැම්බර් මස කළ ප‍්‍රකාශයක් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට එම වසරේ දෙසැම්බර් මස 10 වැනිදා පැමිණිල්ලක් කළ බවත්, ඊට අදාළව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා තමා මෙසේ කැඳවා තිබූ බවත් පියතුමා සඳහන් කළේය. ඊයේ පෙරවරු 9.45 ට පමණ ජූඩ් ක‍්‍රිෂාන්ත පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.

ප‍්‍රසන්න රණතුංග මහතා කර ඇති ප‍්‍රකාශයෙන් මෙන්ම පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලින්ද මෛත‍්‍රිපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර ඔහු ඊට වගකිවයුතු නම් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි තමන් එහිදී ඉල්ලා සිටි බව ද ජූඩ් ක‍්‍රිෂාන්ත පියතුමා සඳහන් කළේය.

තමන්ගේ ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් හිමිවූ බව ද පියතුමා පැවසීය.