පාතාල සෙල්ලම් කළ නීලක පොලිස් උණ්ඩයෙන් එළොව යයි

මිනීමැරුම් ඇතුළු අපරාධරැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන‘‘ඉලිබේ නීලක” නැමැත්තා අඟුරුවාතොට වල්පිට බිඩිකොල හංදිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ දී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගිය බව අඟුරුවාතොට පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් 24 යන එක් දරු පියෙකි.

මියගිය නීලක නැමැත්තා රිමාන්ඩ් බාරයේ සිටියදී ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ වැයි කියමින් මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත් පා තියුණු ආයුධවලින් කපා හිසට ද බරපතළ තුවාල සිදු කළ බව කියන් සිද්ධියන් පසුගිය දින වාර්තා විය.

ඊට අමතරව ඔහුගේ අනියම් බිරිඳ සමග සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියන ත්‍රීරෝද රථ රියදුරකු ද බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මෙම සැකකරු පොලිසිය අවශ්‍ය සිටි පුද්ගලයකු බව ද පොලිසිය කියයි.

මියගිය නීලක නැමැත්තාගේ හත් හැවිරිදි එකම දරුවා නීලක ගේ මවට බාර දී තිබූ බව පොලිසිය කියයි. පසුව ඇය එම දරුවා ඇගේ ඥාති සහෝදරියකගේ නිවසේ නතර කර ඇති අතර එම දරුවා හෙට දින පරිවාර බාරයට යොමු කිරීමට නියමිතව තිබී ඇත. එසේ තිබියදී මියගිය සැකකරු,  දරුවා රඳවා සිටියදී නැන්දාගේ නිවෙසට ටී – 56 ගිනි අවියක් රැගෙන  අද පෙරවරුවේ ගොස්  අහසට වෙඩි තබා නිවැසියන් බිය ගන්වා නිවස තුළ සිටි එම දරුවා පැහැරගෙන ත්‍රීරෝද රථයෙන් පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

එම සිද්ධියත් සමග සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර පොලිස් කොට්ඨාසයට අයත් පොලිසි කීපයකින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අවට ප්‍රදේශ සිසාරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී පලාගිය එම සැකකරු අඟුරුවාතොට පොලිස් වසමේ වල්පිට බීඩි කොළ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී උඩුමහලේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස වැටලූ බව ඇතැයි පොලිසිය කියයි.

එහිදී සැකකාර නීලක නැමැත්තා පොලිස් නිලධාරීන්ට වෙඩි පිට වෙඩි එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් ද ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු මියගොස් තිබූ බව පොලිසිය කියයි. ඔහු පැහැරගත් බව කියන දරුවා මේ වන විට හොරණ පොලිසිය බාරයේ සිටින බව ද පොලිසිය කියයි.