ශ්‍රී ලංකා මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ 40වැනි සංවත්සරය සමරමු

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට සහභාගි වී අදට වසර 40ක් සපිරෙන අතර එනම් 1982 පෙබරවාරි 17 වැනිදා ශ්‍රී ලංකාව එංගලන්තය සමඟ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වූයේ කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී හෙවත් පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදීය. ඒ අනුව අද දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉතා සුවිශේෂි දිනයක් ලෙස සනිටුහන් වනු ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 1981 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පූර්ණ ටෙස්ට් සාමාජිකත්වය පිරිනැමීමෙන් පසුව පැවැති එම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෑතකදී අප අතරින් වෙන්වූ බන්ධුල වර්ණපුර විසින් ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබා දුන් අතර එංගලන්ත පිල මෙහෙයවන ලද්දේ කීත් ෆ්ලෙචර් විසිනි.
මෙම මංගල ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක බන්ධුල වර්ණපුර පළමුව පන්දුවට පහරදීමට තීරණය කළද පළමු ඉනිමේදී ලකුණු 218කට සියලු දෙනා දැවී ගියේය. පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමටද සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 223ක් පමණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමද ලකුණු 175කට සීමාකිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ බැවින් තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත පිලට ලැබුණේ ලකුණු 171ක ඉලක්කයකි. එම ඉලක්කය පන්දුවාර 58යි පන්දු 1කදී කඩුලු 3ක් පමනක් දැවී සපුරා ගත් බැවින් එංගලන්ත පිලට කඩුලු 7ක ජයක් හිමි විය.
තරගයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ලකුණු 33කට කඩුලු 6ක් දවාගත් එංගලන්ත පිලේ දඟපන්දු යවන්නෙකු වූ ජෝන් එම්බියුරි ය.
මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම –
බන්දුල වර්ණපුර (නායක), සිදත් වෙත්තමුනි, රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස්, රන්ජන් මඩුගල්ල, අර්ජුන රණතුංග, සෝමචන්ද්‍ර ද සිල්වා, අසන්ත ද මෙල්, ලලිත් කළුපෙරුම, මහේස් ගුණතිලක, අජිත් ද
සිල්වා.

එංගලන්ත කන්ඩායම –
ග්‍රැහැම් ගූච්, ජෙෆ් කුක්, ක්‍රිස් තැවාරෙ, ඩේවිඩ් ගවර්, කීත් ෆ්ලෙචර් (නායක) ඉයන් බොතම්, බොබ් ටේලර්, ජෝන් එම්බියුරි, පෝල් ඇලට්, ඩෙරෙක් අන්ඩර්වුඩ්, බොබ් විලිස්.