තෙල් සංස්ථාවේ අලාභය බිලියන 11ක්

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන ඉන්ධන මිලට සාපේක්ෂව පෙබරවාරි මාසය අවසානයේ ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බව සංස්ථා ආරංචි මාර්ග පවසයි. ඉන්ධන මිල ඉහළ දැමීමක් හෝ ඉන්ධන මත පනවා ඇති බදු සහනයක් ලබා දෙන්නැයි, මුදල් අමාත්‍යාංශයෙන් මේ වන විටත් ඉල්ලා ඇති බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේය.

පවතින තත්ත්වය යටතේ ඉන්ධන මිල මෙලෙස පවත්වාගෙන යාමෙන්, දැඩි අලාභයක් ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට දරා ගැනීමට සිදුව ඇති අතර ඩොලර් නැති වීමෙන් ඉදිරියේදී රටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම අර්බුදකාරි තත්ත්වයකට ලක්ව ඇති බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.