සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ඩෙංගු මර්දන සහායකයින්ද එක් වෙයි

නීතිමය රැකවරණය රහිත ව රාජකාරි කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් පසුගිය ජූලි මස 17 වන දින දහවල් 12.30 සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරිවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ගත් තීරණයට මේ වනවිට සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේද සහය පළ කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්තව රට පුරා සේවය කළ ඩෙංගු මර්දන සහායකයින් කොවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීමට සඳහා සිදුකළ සියලු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
තම සේවය ස්ථිර නොකළද රු 22,000 ක මාසික දීමනාවක ට මෙම සියලු රාජකාරි ඉටුකළ නමුත් එයට බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් තම සංගමය ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමය කියා සිටී.
පීසීආර් පරීක්ෂණ සඳහා සහාය වීම, විෂබීජහරණ කටයුතු, ප්‍රජාව දැනුවත් කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමග නිරෝධායන කටයුතුවලට සහාය වීම වැනි කාර්යයන් සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින් විසින් සිදුකරනු ලැබීය.