දිමුත්ගේ රිද්මයේ පීඩනය ශතකයකින් පිට කරයි

අසේල විතාන
රිද්මය නැති බව තරගය ආරම්භයට පෙර පැවසු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ගාල්ලේදී යළිත් නැතිවූ රිද්මය සොයා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13 වැනි ශතකය ලබා ගත්තේය. දිමුත්ගේ සුපිරි ඉනිම හමුවේ කොදෙව්වන්ට එරෙහිව පළමු දිනය (21 දා) නිමා වන විට කඩුලු 3 කට ලකුණු 267ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.


ඉකුත් අප්‍රේල් මාසයේදී බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් තරගයෙන් පසුව මාස හතක නිහැඩියාවකින් පසුවූ ශ්‍රී ලංකා නායකයා සුපුරුදු රිද්මය සොයා ගැනීමට නොහැකිව ගාල්ලට ඒමට පෙර ලත වෙමින් සිටියේය.  සිය සගයන්ගේ කර මතින් සුපුරුදු රිද්මය සොයා ගැනීමට පුහුණු වූ දිමුත් කරුණරත්න කොදෙව්වන්ට සංග්‍රහ කරනු ලැබුවේ පළමු දිනය නිමා වන විට පන්දු 265 කදී හතරේ පහර 13 ක් සමග ලකුණු නොදැවුණු ලකුණු 132 කනි.
දිමුත් සමග ඉනිම ආරම්භ කළ පැතුම් නිශ්ශංක සිය හය වැනි ටෙස්ට් තරගයේදී තෙවැනි අර්ධ ශතකය ලබා සිටියදී ගැබ්රිල් පිට ඉන්නට අඩියක් පමණ එපිටින් පතිත කළ පන්දුවට පිත්ත අමාරුවෙන් දමා ස්ලිප් ක්‍රීඩකයාට උඩපන්දුවක් දී දැවී ගියේය. කෙසේ වෙතත් දිමුත් සහ පැතුම් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 139 කි.
අංක තුන පිතිකරුවා වූ ඕෂධ ප්‍රනාන්දුට පන්දු 25 කට මුහුණදීමට හැකි වුවද ඔහුට ලකුණු පිපාසය සංසිදවා ගැනීමට නොහැකි විය. අනතුරුව පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ද ලකුණු 3 කට පිටියෙන් ඉවත් විය. කෙසේ වෙතත් දිනය නිමා වන විට පිති ප්‍රහාරයේ යෙදෙන ධනංජය ද සිල්වා පන්දු 77 කදී හතරේ පහර පහක් සමග නොදැවී ලකුණු 56 ක් ලබා සිටියි.
ලකුණු තත්ත්වය
ශ්‍රී ලංකාව පන්දුවාර 88 කදී කඩුලු 3ට ලකුණු 267 යි
(පැතුම් නිශ්ශංක 56, දිමුත කරුණාරත්න 132, ඕෂධ ප්‍රනාන්දු 03, ඇන්ජලෝ මැතිව්ස් 03, ධනංජය ද සිල්වා 56, ගැබ්රික් 56/1, රොස්ටන් චේස් 42/2 යි.)