ශ්‍රී ලංකාව තුළ පවුල් පාලනයට තිත තැබිය යුතුයි – කුමාර් සංගක්කාර

පවුල් පාලනයට හෝ දූෂණයට හා ඥාතිවාදයට ශ්‍රී ලංකාව තුළ යළි ඉඩක් නොදිය යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක හා අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයාද වන කුමාර් සංගක්කාර පවසයි.
කුමාර් සංගක්කාර මේ බව පවසා ඇත්තේ ඉන්ස්ටර්ග්‍රෑම් ජාලය ඔස්සේ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති අර්බුදයට එරෙහිව මෙම අරගලය අරඹා ඇත්තේ වඩාත් අවදියෙන් සිටින මෙන්ම වඩාත් අධිශ්ඨානශීලී සහ නිර්භීත පරපුරක් විසින් බවද සංගක්කාර අවධාරණය කර සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා,
”මෙවැනි අවස්ථාවක ශ්‍රී ලාංකිකයින් ලෙස සියලුම දෙනා එකමුතු වුණා වගේම මෙම වර්තමාන අර්බුදයෙන් පාඩම් ඉගෙන ගෙන පටු ආකල්ප කරපින්නා ගත් ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් අපේ සමාජයට හෝ දේශපාලනයට යළි ඇතුළත් නොකර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එසේම වංචාවට, දූෂණයට සහ ඥාතිවාදයට මෙන්ම පවුල් පාලනයකටද ශ්‍රී ලංකාව තුළ යළි ඉඩක් දිය යුතු නැහැ.” යනුවෙන්ද පවසා ඇත.