41දෙනාගේ යෝජනා ඉවත දමයි, ජනපති තනි මතයක

ජනාධිපතිවරයා සමඟ ශ්‍රී.නි.ප. ය, හවුල්කාර පක්ෂ දහය හා ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ ඊයේ (10) පැවැති සාකච්ඡාව අසාර්ථක වී ඇති බව වාර්තා වෙනවා. එම සාකච්ඡාවට සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි මන්ත්‍රීවරුන් 16දෙනකු සහභාගි වී ඇති බව යි පැවැසෙන්නෙ. දීර්ඝව පැවැති එම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේ දී ජනතාවගේ ඉල්ලීට සවන් දිය යුතු බව යි. සාකච්ඡාවට සහභාගී වූ  කණ්ඩායමද එම අදහසේ සිටි අතර රට කඩා වැටීමට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බවද ඔවුන් දීර්ඝව පෙන්වා දී තිබෙනවා.

”දැන් මුළු රටේ ම මහජනතාව ඉල්ලා සිටින්නේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා එම තනතුරුවලින් ඉවත් විය යුතු යි කියලා. අපි ඒ මහජන මතයට හිස නැමිය යුතු යි. නමුත් ජනාධිපතිතුමා ඉවත් වීම එක් වර ම කරන්න බැහැ. එය ව්‍යවස්ථානුකූලව සිදු කළ යුතු කාරණයක් බව අපි පිළි ගන්නවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ හැර වෙනත් අලුත් අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයක් පත් කරන්න….” යි මෙහිදී මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට යෝජනා කළ බවට වාර්තා වෙනවා. කෙසේනමුත් ජනාධිපතිවරයා එයට එකඟ නො වූ බව යි සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රී කණ්ඩායමේ පුවත් මූලාශ්‍ර පවසන්නේ.
දැනට පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් බැවින් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කළ නො හැකි බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇති බව ද පැවසෙනවා. තවදුරටත් අගමැති තනතුරේ මහින්ද රාජපක්ෂ මහතාම තබා ගනිමින් නව කැබිනෙට්ටුවක් පත් කිරීම කළ හැකි බවත් එම නව කැබිනෙට්ටුවට වෙනත් රාජපක්ෂවරයකු පත් නො කිරීමටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා නො දීමටත් පමණක් කටයුතු කළ හැකි බවට ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇති බව යි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ එම අදහසට එකඟ නො වූ මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා අසාර්ථ වීමෙන් පසුව පිටවී ගොස් ඇති අතර අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 කණ්ඩායම අද (11)
නැවත රැස්වීමට නියමිත බව ද වාර්තා වෙනවා.