පනස් වසරකට පසු ඇමැති ක්‍රීඩා පනතට අත තියයි

වසර පනහකට පසුව මෙරට ක්‍රීඩා පනත වෙනස් කිරීමට තමන් සූදානම් වන බවත් ඒ සඳහා වසර දෙකක පමණ කාලයක් වැය වන බවත් එම වසර දෙකෙන් අනතුරුව පැවැත්වෙන සෑම නිලවරණයක්ම නව ක්‍රීඩා නීතියට අනුව පැවැත්විය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටී. ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් සහ ක්‍රීඩා ඇමැතිවරයා අතර ඊයේ (10 වැනිදා) ජනමාධ්‍ය අමාත්‍යංශ ශවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙරට ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය අතුළත් ක්‍රීඩා පනතේ ඇතැම් වගන්ති මීට පෙර වරින්වර වෙනස් වුවද ක්‍රීඩා පනතක් සම්පූරණයෙන්ම වෙනස් කෙරෙන පළමු අවස්ථාව මෙය වේ. ඒ අනුව ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය සහ ක්‍රීඩා පනත යනු ඒකව බැඳී ඇති කාරනයක් බවත් ලෝකයේ ක්‍රීඩාව සහ නීතිරීති වෙන්ස්වීම හේතුවෙන් අදාළ පනත වෙනස් කිරීම සිදුකළ යුතු බවත් ඊයේ කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදාහස් දැක්වූ අමාත්‍යවරයා ‘ක්‍රීඩා පනත සහ ක්‍රීඩා ප්‍රතිපත්තිය කියන කාරනය එක කාරනයක් විදිහට තමයි මම දකින්නේ. මොකද ප්‍රතිපත්ති කියන කාරණ කාලානුරූපිව වෙනස් වෙනවා. ඒ වගේම ක්‍රීඩා නීතිරීති ක්‍රීඩා පනත් ඇතුළුව ලෝකයේ ක්‍රීඩාවත් වෙනස් වෙනවා. ඉතින් අපි කරන්නේ එකම දේ ගෙනත් මේකම තමයි අවුරුදු විස්සකටම යන්නේ කියන දේ නෙමෙයි. වෙනස් වෙන්න ඉඩ තියලා තමයි ක්‍රීඩා පනත අපි ගේන්න උත්සාහ කරන්නේ. ඒ අනුව ක්‍රීඩා පනත තමයි ක්‍රීඩා සහ ක්‍රීඩා ජාතික ප්‍රතිපත්තිය විදිහට දකින්නේ. ඒ තුළ අපි ක්‍රීඩා සමාජවල නිර්ණායකයන් සහ ක්‍රීඩා සමාජයක ව්‍යවස්තාව නිර්මාණය කරන්නට අත්‍යාවශ්‍ය කාරනාව මොකක්ද, ජන ගණත්වය අනුව ක්‍රීඩා සංගමයක ක්‍රියාකාරිත්වය පැවැත්විය යුතු ආකාරය යන නිර්ණායක ඔස්සේ ක්‍රීඩා පනත අපි හැදුවම ඒ තුළ ක්‍රීඩා ප්‍රතිපත්තිය නිර්මාණය වෙනවා.’ යැයි කියා සිටියේය.
ක්‍රීඩා පනත වෙනස් කිරීම හෝ නව පනතක් නිර්මාණය කිරීම ක්‍රීඩා අමාත්‍යංශයට ඒකමතිකව තීරණය කළ හැකි කටයුත්තක් නොවන අතර ඒ සඳහා තවත් විවිධ පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටී. කීඩා පනත 1973න් පසු වෙනස් වෙන පළමු අවස්ථාව මෙය වේ. ඒ අනුව මෙම කාරණය සඳහා වසර දෙකක් පමණ වැය වන බවත් එය අතර මගදී නතරකර දැමිය නොහැකි කරුණක් බවත් මෙහදි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ‘මෙය ක්‍රීඩා අමාත්‍යංශය තනිව කරන කාරණයක් නොමෙයි. අපි අධිකරණ අමාත්‍යතුමා එක්කත් සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක තමයි කමිටුව දාල තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදී අපි බලා පොරොත්තු වෙනවා මාධ්‍යවේදීන්, ක්‍රීඩකයින්, යෞවන සමාජවලින්, ක්‍රීඩා සංගම්වලින් සහ දේශපාලන අධිකාරිවලින් පක්ෂ භේදයකින් තොරව මේ සඳහා නිර්දේශයන් ලබා ගන්න. ඒ වගේම අවශ්‍ය තැන්වලදි ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් අදහස් ලබා ගැනීමටත්. ඒ වගේම අවුරුදු පනහකට පස්සේ තමයි ක්‍රීඩා පනතක් මෙහෙම වෙනස් වෙන්නේ. ඒ නිසා අපි හදන පනත තව අවුරුදු පනක් විතර තියෙයි කියල හිතෙනවා. ඒ නිසා වසර දෙකක පමණ කාල සීමාවක් මේ සඳහා අපි අරගෙන තියෙනවා.’
මේ අතර මේ වන විට බොහෝ ක්‍රීඩා සංගම්වල නිලවරණ ඉදිරි මාස කිහිපය තුළ පැවත්වීමට නියමිතව තිබේ. ඒ අනුව එම අදාළ නිලවරණ පවත්වා අවසන් වුවායින් පසු පනත සංශෝධනය කිරීමට පියවර ගැනීමට අමාත්‍යවරයා තීරණය කර තිබේ. ක්‍රීඩා සංගමයක නිල කාලය වසර දෙකක් වන අතර එහිදී මෙම නිලවරණවලින් අනතුරුව නැවත වසර දෙකකදී පැවැත්වෙන එම අදාළ නිලරවරණ නව ක්‍රීඩා පනතට අනුව පැවැත්විය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පනත සංශෝධනය වෙන අතරතුරදි නිලවරණ පැවැත්වීම ගැටළු සහගත වන බවත්ය.