2017 ටී 10 සාජා තරගාවලිය සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයේ පළමු පරීක්ෂණය

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අයි.සී.සී.යේ චෝදනාවට ලක්ව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් කළ හැකි උපරිම මැදිහත්විම සිදුකරමින් ඊයේ (23 දා) ක්‍රීඩා අමාත්‍යාංශය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පරීක්ෂණයක් පවත්වනු ලැබීය. අදාළ පරීක්ෂණය වෙනුවෙන් අවිශ්ක ගුණවර්ධණ, නුවන් සොයිසා සහ කාර්යක්ෂම විශ්ලේෂක සනත් ජයසුන්දර සහභාගි වු අතර දිල්හාර ලොකුහෙට්ටිගේ විදෙස් ගතව සිටින බැවින් ඒ සඳහා සහභාගී නොවුණි.
අයි.සී.සී.ය විසින් චෝදනාවට ලක්කර තිබූ අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ කාර්යක්ෂම විශ්ලේෂක සනත් ජයසුන්දර වෙනුවෙන් අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසුරිය මහතා ඇතුළු ඔහුගේ කනිෂ්ට නීතිඥයන් සහභාගි විය. ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙම සිද්ධිය සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලදී. අදාළ ත්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන්ද නීතිඥයන් දෙදෙනකි. කෙසේ වෙතත් ඊයේ මූලික කරුණු සාකච්ඡා කෙරුණු අතර ක්‍රීඩා අමාත්‍යාංශයට කළ හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සොයා බැලීමට අවශ්‍ය කරුණු සති දෙක තුනක් ඇතුළත ලබා දෙන බවට චෝදනාවට ලක්ව ඇති පාර්ශ්ශවයේ නීතිඥවරයා පැවසීය.