ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අද (ඔක්තෝබර් 18දා) උදෑසන
අභාවප්‍රාප්ත වූ අතර ඔහු මිය යන විට 68 වන වියෙහි පසුවිය.

හදිසියේම රෝගාතුර වීම හේතුවෙන් ඔහු මේ මස මුලදී රෝහල් ගත කිරීමෙන් පසු කොළඹ
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

1975 සිට 1982 දක්වා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 4 කට සහ එක්දින
ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කර තිබේ.
කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ ආදී සිසුවෙකු වූ බන්දුල , 1970 දශකයේ දීප්තිමත්
ආරම්භක පිතිකරුවෙකු ලෙස ප්‍රකට වූ අතර , 1982 දී ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව පැවැති
මංගල ටෙස්ට් තරගයේදී නායකයා ලෙසද කටයුතු කළේය.

තවද ක්‍රිකට් පුහුණුකරුවකු, ක්‍රිකට් විස්තර විචාරකයකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේද ඉහළම තනතුරු රැසක්ම දැරූ බන්දුල වර්ණපුර මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණ තැනීමේදී
උපදේශකයකු ලෙසද කටයුතු කරමින් ක්‍රීඩාවට අමිල සේවයක් කළ ක්‍රිකට් විශේෂඥයෙකි.
බන්දුල වර්ණපුර මහතාණෙනි ඔබට නිවන් සුව…