ඉරණතීව් දූපතට කොරෝනා මළ සිරුරු ගේනවාට ධීවර ඇමතිගේ විරෝධය

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය සඳහා කිළිනොච්චියේ ඉරණතීව් දූපත තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ විරෝධය පළ වී ඇති අතර ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ද මීට සිය අකැමැත්ත පළ කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ රජය මෙම තීරණය හකුළා නොගතහොත් ඉරණතීව් දූපතේ ජනතාව සමග එකතු වී රජයේ මෙම තීරණයට එරෙහිව විරෝධය පළ කරන බවයි.
ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පවසන්නේ කොරෝනා රෝගයෙන් මියගිය අයගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතීව් දූපත කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවන බවයි.
මේ තීරණය හා ක‍්‍රියාව නිසා මේ රටේ සුළු ජාතිය හා රජය අතර ඇතිව තිබෙන ව්‍යාකූලතාවය තවත් වර්ධනය විය හැකි බැවින් තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡුා කර යම් විසඳුමකට එළඹෙන බව ද ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.
කිළිනොච්චියේ ඉරණතීව් ප‍්‍රදේශයේදී පසුගිය මාසයේ මුහුදු කූඩැල්ලන් ඇතුළු මුහුදු ආහාර අපනයන ගම්මානයක් පිහිටුවා වසරකට ඇමරිකානු ඩොලර් 25000කට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට සැලසුම් කර විදේශීය සමාගම් සමග එය ක‍්‍රියාවට නංවා තිබිය දී කොරෝනා මළ සිරුරු ඉරණතීව් දූපතේ භූමදානය කිරීම නොගැලපෙන ක‍්‍රියාවක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
කිළිනොච්චියේ සිට මුහුදු සැතපුම් 9ක දුරින් මන්නාරම් බොක්කට අයත්ව පිහිටි ඉරණතීව් දූපතේ මේ වන විට පවුල් 165ක් පමණ නැවත පදිංචිව සිටින හෙයින් ඉරණතිව් දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් දූපතේ ජලය අඩුවැඩි වීමේදී වෛරසය ජලයට මුසු වී ජනතාවට කොරෝනා වැලඳීමේ අවදානමක් පවතින බව ඉරණතීව් දූපතේ වැසියෝ කියා සිටිති.