කොවිඩ් මළ සිරුරු ඉරණතිව් දූපතට

කොවිඩ් මළ සිරුරු භූමදානය කිළිනොච්චි හි පිහිටි ඉරණතිව් දූපතෙ හි සිදුකිරීමට කොවිඩ් පාලනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය නිර්දේශ කර ඇත. ඒ අනුව අදාළ මළ සිරුරු මෙම දූපත වෙත රැගෙන යාම සෞඛ්‍ය සේවකයින්ගේ සහයෝගය මත යුද හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකිරීමට කොවිඩ් පාලනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ (02දා) තීරණය කරනු ලැබීය.
සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන් සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එම කාර්ය සාධක බළකායේ අනෙකුත් සාමාජිකයින්ගේ
ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.
මීට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (03දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කොවිඩ් මරණ භූමදානයට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ගනු ලැබූ තීරණ අනුව එම මළ සිරුරු සම්බන්ධ ආගමික කටයුතු මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීමෙන් පසු භූමදානය සඳහා යුද හමුදාව වෙත භාර දෙනු ලැබේ.එතැන් පටන් යුද හමුදාවේ පූර්ණ අධීක්ෂණය මත ඉරණතිව් දූපත වෙත රැගෙන යාම සිදුකරනු ඇත. එහිදී මළ සිරුරු භූමදානය සඳහා රැගෙන යන්නේ මළ සිරුරු කිහිපයක් එකතුවූ පසුය. එතෙක් එම මළ සිරුරු ශීතාගාරවල තබයි. භූමදාන කටයුතු රජයේ වියදමින් සිදුකරනු ලබයි.