වෛද්‍ය වැඩ වර්ජනය තවත් ඇදෙයි – රත්නපුර රෝහල ඉදිරිපිටින් විරෝධතා පාගමනක්

වෛද්‍යවරුන්ගේ සිදුකෙරෙන වාර්ෂික මාරුවීම් ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා දියත් කර ඇති වැඩවර්ජනය අද (23) තෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

පෙරේදා දිනයේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පසුගිය දින දෙකේදීම රෝගීන් දැඩි
පීඩාවට පත් වූ අතර සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක
කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

අද (23) දිනයේ සිට තවත් වෘත්තීය සමිති කිහිපයක් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට
තීරණය කර ඇති බවද එහි සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළා .
කෙසේවෙතත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසන්නේ
මෙම වැඩ වර්ජනය ආසාධාරණ බවයි.
මේ අතර අද පෙරවරුවේ රත්නපුර රෝහල ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කිරීමට ද සැලසුම් කර
ඇති බවත් සබරගමුව පළාතේ සියලු රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද දිනයේ වැඩ වර්ජනයක්
ක්‍රියාත්මක කර තිබෙන බවත් වාර්තා වෙනවා.

මෙසේ වර්ජන ක්‍රියාත්මක කිරීමත් සමඟම සබරගමුව පළාතේ ශික්ෂණ රෝහල් දෙකේ සේවය ඇනහිටින
බවද පැවැසේ. එසේම මුලික රෝහල් 6ක්, ප්‍රාදේශීය රෝහල් 32ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල
19ක සේවය ඇනහිටිනවා ඇති. තවද හෙද සේවාව, පරිපුරක වෛද්‍ය සේවයට අදාළ වෛද්‍ය රසායනාගාර
විද්‍යාඥ, ඖෂධවේදී, විකිරණවිද්‍යා තාක්ෂණවේදී ඇතුළු සියලු පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ එකී
මහජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත විරෝධතා පාගමනට සහභාගී වනු ඇතැයිද වාර්තා වේ.