එක දවසෙන් කඩුලු රකින්නෙක් වූ හෂාන් පහුවෙනිදාම ටෙස්ට් වරම් ලබයි

  • අරවින්දගෙ තාත්තා එළිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් කෑන් පිටින් ගෙනල්ලා කන්න දෙනවා
  • බන්දුල වර්ණපුර සහ අර්ජුන අයියා මත දෙකක හිටපු නිසා ගැටුමක් ඇති වුණා
  • අසේල විතාන
    ඕනෑම අභියෝගයක් සිනහවෙන් බාර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යෝධ පවුරක් වූ මොහු හෂාන් තිලකරත්න වෙයි. එකල වමතින් සහ දකුණතින් පන්දු යැවීමේ හැකියාව දැක්වු මොහු ටෙස්ට් වරම් ලැබුවේ කඩුලු රකින්නකු වශයෙන්ය. නමුත් කිසිම දවසක කඩුලු රකින්නක නොවූ හෂාන් පැය දෙකක පමණ පුහුණුවකින් පසුව කඩුලු රකින්නකු ලෙස ටෙස්ට් වරම් ලැබීමද අපුරු කතාවකි.1989 දී පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හෂාන් ටෙස්ට් තරග 83 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක විස්සක් ලබා තිබේ. හෂාන්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 42.87 කි. එක්දින තරග 200 කට ක්‍රීඩා කළ හෂාන් ශතක 2 ක් සහ අර්ධ ශතක 13 ක් ලබා තිබේ.

“ඒ කාලේ දෙමව්පියන්ට පස්සෙ වැඩියෙන්ම ආදරය කරන්නෙ කාටද කියලා ඇහුව්වාම අපි කියන්නෙ ක්‍රිකට් පුහුණුකරුට කියලා. ඒ තරමටම ඒ කාලේ පුහුණුකරුවන් ඉතාමත් හොඳයි. ඔවුන්ගෙ දැනුම අපිට දුන් ආකාරය අනූව තමයි ගොඩක් ක්‍රීඩකයන් පාසල් කාලයේදී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ.”
මගේ තාත්තයි අම්මයි දෙන්නම ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම අම්මා දැල්පන්දු ක්‍රීඩිකාවක්. මම මුලින්ම ඉසිපතන විදුහලෙන් තමයි අධ්‍යාපනය ලැබුවෙ. එහෙදි 11 න් පහළ සහ 12න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළා. ඉසිපතන කණ්ඩායමේදී මගේ නායකයා වුණේ අසංක ගුරුසිංහ. මම වයස අවුරුදු 11 න් පහළ තරගාවලියේ සමස්ත ලංකා හොඳම පිතිකරු සහ තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා. ඊට පස්සෙ මට ඩී.එස්. සේනානායක විදුහලට යන්න අවස්ථාව ලැබුණා.
ඩී.එස්. විදුහලේ ක්‍රිකට් ගහනකොට මට වයස අවුරුදු 15 යි. ඒ කාලයේදීම එන්.සී.සී. ක්‍රීඩා සමාජයට ඇතුළත් වුණා. එන්.සී.සී. කණ්ඩායමට ඇතුළත් වෙන්න මට ගොඩක් උදව් කළේ අරවින්ද ද සිල්වාගේ තාත්තා සෑම් ද සිල්වා අන්කල්. එන්.සී.සී. එකේ හිටියේ ඒ කාලේ අපේ ක්‍රිකට් වීරයන් වු රන්ජන් මඩුගල්ල, අමල් සිල්වා, ජෙගනාදන්, රොමේෂ් රත්නායක වැනි ක්‍රීඩකයන්. ඉතින් අඩු වයසකින් ඒ අය කරන කියන දේවල් බලන් ඉඳලා ලොකු අත්දැකීමක් ලැබුණා.
මට මතකයි වයස අවුරුදු 19 න් පහළ ගහලා ඉන්නකොට පළමු වරට 1986 දී ජාතික කණ්ඩායමට තෝරගත්තා. මගේ යාළුවෙකුගෙ ගෙදර ඉන්නකොට රේඩියෝ එකේ ප්‍රවෘත්තිවලට කිව්වාහෂාන් තිලකරත්නවත් ජාතික කණ්ඩායමට නම් කරලා තියෙනවා කියලා. ඒක අහලා ඉක්මනට මම ගෙදර ගිහිල්ලා ගොඩක් සතුටු වුණා. ඩී.එස්. විදුහල් කණ්ඩායමේ මම බැට් කරන්නෙ අංක තුන ස්ථානයේ. අරවින්ද ද සිල්වා බැට් කරන්නෙ අංක හතර ස්ථානයේ. අරවින්ද ඒ කාලෙ ඉඳලම ගොඩක් හයියෙන් බැට් කරනවා. එයාට පන්දු යවන්නෝ බයයි බෝල් කරන්න. ඉතින් අරවින්ද එක පැත්තකින් එකසිය පනහක් ගහනකොට මමත් අනිත් පැත්තෙන් හැටක් හැත්තෑවක් ගහනවා. ඒ වගේ අපි දෙන්නා ගොඩක් හොඳ සබඳතා පාසල් යන කාලෙදි පවත්වලා තියෙනවා. මට මතකයි අපි මැච් එකක් දිනලා හොඳට කළ දවසට අරවින්දගෙ තාත්තා එළිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් කෑන් පිටින් ගෙනල්ලා කන්න දෙනවා.
1987 ලෝක කුසලාන සංචිතයේ මමත් හිටියා. මම ඒ කාලේ ප්‍රැක්ටිස් එන්නෙ බස් එකේ හින්දා ගොඩක් වෙලාවට පරක්කු වෙනවා. ඒ හින්ද අරවින්ද ද සිල්වාගේ ගෙදර නැවතිලා දෙන්නත් එක්ක ප්‍රැක්ටිස් ආවා. මගේ පලමු ටෙස්ට් තරගය 1989 දී ඔස්ටේ්‍රලියාවත් එක්ක තිබ්බෙ. ටෙස්ට් තරගයට මට ක්‍රීඩා කරන්න ලැබුණෙ කඩුලු රකින්නා විදිහට. හැබැයි මම ඒ වෙනකොට ප්‍රැක්ටිස්වලදිවත් කඩුලු රකින්නා විදිහට පුහුණුවීම් කරලා තිබුණෙ නැහැ. මැච් එකට කලින් දවසෙ අර්ජුන අයියා ඇවිල්ලා කිව්වා විකට් කීපර් ග්ලවුස් දෙක දාලා කැචර්ස් ටිකක් අල්ලන්න කියලා. ඊට පස්සෙ අර්ජුන අයියත් ඇවිල්ලා කැචස් ටිකක් ගහලා කිව්වා හෙට මැච් එකේ විකට් කිපර් කරන්න ලෑස්ති වෙන්න කියලා. කවදාවත් විකට් කීපර් නොකරට මම ඒ කාළේ හොඳට පන්දු රකිනවා. කොහොම හරි ජිවිතේ පළමු වරට කඩුලු රකින්නෙක් විදිහට ක්‍රීඩා කරලා උඩ පන්දු පහක් අල්ල ගත්තා. ඒ තරගාවලියේ කඩුලු රකින්නා වුණේ ගාමිණී වික්‍රමසිංහ. ඒත් අර්ජුන අයියට ඕන වුණේ හොඳ පිතිකරුවෙක් කඩුලු රකින්නා විදිහට යොදවන්න. ඒක හින්ද තමයි මට අවස්ථාව දුන්නෙ. මම ඒ තරගයේදි හැම විවේක කාලයකදීම ගාමිණීගෙන් ගිහිල්ලා අහනවා මම මොනවද කරන වැරදි කියලා.
ගොඩක් බාධක මැදින් අපේ ක්‍රිකට් එන්න එන්නම හොඳ මට්ටමකට ආවා. ඒ කාලේ පොඩි පොඩි හැල හැප්පීම් තිබුණා. 1992 දී ස්ටැන්ලි ජයසිංහ සහ අර්ජුන අයිය අතර ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒකට හේතුව දෙන්න මත දෙකක හිටපු එක. ජයන්ත පරණතාලත් ඒ ප්‍රශ්නයට මැදිහත් වුණා. ඒ හේතුවෙන් 92 ලෝක කුසලානයේදී අර්ජුන අයියව නායකත්වයෙන් අයින් කරලා අරවින්ද ද සිල්වාට නායකත්වය ලබාදුන්නා. ඒ කාලේ නායකයාට විතරයි තනි රූප් එකක් දෙන්නෙ. ඒ නිසා 92 ලෝක කුසලාන තරගාවලියේදි අර්ජුන අයියයි මමයි එක රූම් එකේ තමයි හිටියෙ. ලෝක කුසලාන තරගාවලියෙන් පස්සෙ ආයිත් අර්ජුන අයියට නායකත්වය ලැබුණා. මම හිතන විදිහට නායකයා සැරට හිටියෙ නැත්නම් කණ්ඩායමක් විදිහට දුර ගමනක් යන්න අමාරුයි. ඉතින් අර්ජුන අයියා කොහොම හරි නායකත්වයේ වගකීම උපරිම හොඳට ඉටු කළා.
93 දී අපි බන්දුල වර්ණපුරගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියාවට ගියා. ඒ තරගාවලියේදි අපි ටෙස්ට් තරගාවලිය 3/0 ක් ලෙස පරාජය වුණා. එතනදි බන්දුල වර්ණපුර සහ අර්ජුන අයියා මත දෙකක හිටපු නිසා ගැටුමක් ඇති වුණා. පස්සෙ ලංකාවට ආපු ගමන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් තියලා අරවින්ද ද සිල්වාව සාජා සංචාරයෙන් ඉවත් කළා. ඒකට විරුද්ධව අර්ජුන අයියා ඇතුළු කට්ටියක් කණ්ඩායමෙන් අයින් වුණා. හැබැයි මම කණ්ඩායමේ හිටියා. එතනදි මට වගේම සාජා සංචාරය ගිය හැමෝටම ප්‍රේක්ෂකයන්ගෙන් සහ විවිධ අයගෙන් තර්ජන ආවා කණ්ඩායමෙන් අයින් වෙන්න කියලා. එතනදි මම කිව්වෙ අපි ඉන්නෙ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න නිසා අයින් වෙන්න අවශ්‍යතාවක් නැහැ කියලා. ඒ තරගාවලියේදී නායකයා වුණේ රොෂාන් මහානාම. උපනායකයා මම. සාජා තරගාවලියට ගිහිල්ලා ආපු ගමන් කට්ටියක් අපි ගහන්නත් ආවා. අසංක ගුරුසිංහගේ ගෙදරට ගොඩක් අලාභ හානි කරලා තිබ්බා. මොකද ඒ කාලේ ක්ලබ් මැච් බලන්න වුණත් ගොඩක් සෙනඟ එනවා. ඒ නිසා අර්ජුන අයියලා ගිය නැති එකට ප්‍රේක්ෂකයන් ගොඩක් කේන්තියෙන් හිටියේ. මේ හැම දෙයක්ම අපේ ක්‍රිකට් දිවියේ ලබපු සුන්දර අතදැකීම් වුණා.

ඒ කාලෙ ජයානන්ද වර්ණවීර, දොන් අරුණසිරි, සහ මුත්තයියා මුරලිදරන් එක්ක මට ගොඩක් වෙලාවට බැට් කරන්න ලැබිලා තියෙනවා. එතනදි මම හතරවැනි පන්දුවට හෝ පස්වැනි පන්දුවට මාරු වෙන්න ඕන. පාකිස්තානයත් එක්ක ගහනකොට වසීම් අක්‍රම්ටයි වකාර් යුනිස්ටයි මරණ බයේ තමයි අපේ පසුපෙළ පිතිකරුවන් ඉන්නෙ. ඒ කාලේ ඒ දෙන්න ගොඩක් හයියෙන් පන්දු යැව්වා. ඒ වේගයට ගහලා පුරුදු වෙන්න අපිට බෝල් මැෂින් තිබුණෙත් නැහැ. මැච් එකේදිම ඔවුන්ට බැට් කරලා තමයි අපි පුරුදු වුණේ.
මට මතකයි වර්ණවීර කියනවා හයවැනි බෝලයට කොහොම හරි එකක් ගහලා මේ පැත්තට වරෙන් කියලා. එක් මැච් එකක වසීම් අක්‍රම්ගෙ හයවැනි බෝලය මගේ හෙල්මට් එකේ වැදුණා. වැදිලා මම බෝලෙ ගිය දිහාව බලන්න හම්බ වුණේ නැහැ එහා පැත්තෙ හිටපු දොන් අරුණසිංහ මගේ ළඟටම ඇවිල්ලා කියනවා ඉක්මනට එහා පැත්තට දුවන්න කියලා.
පාකිස්තාන් මැච් එකකදී අර්ජුන අයියා දොන් අරුණසිරිට කිව්වා නයිට් වොච්මන්ට් විදිහට බැට් කරන්න ලෑස්ති වෙන්න කියලා. වකාර් සහ වසීම් දුවගෙන එන්නෙ යාර තිහකටත් වැඩිය දුර ඉඳලා. මට අර්ජුන අයියා කිව්වා හසී බලන්න නයිට් වොච්මන්ට් යන්න දොන් කොහෙද ඉන්නෙ කියලා. මම හොයනවා දොන් නැහැ. පස්සෙ චම්පක රාමනායකට කිව්වා පෑඩ් දාගන්න කියලා. රාමනායකට දැන් හරි කේන්තියි. මම ඕවර් විසි ගාණක් දාලා ඇවිල්ලා ඉන්නෙ කියලා රාමනායක බැඩ් කරන්න යන්න ලෑස්ති වුණා. ඊට පස්සෙ හෙමින් සැරේ දොන් ඇතුළට ආවා. ඒ වෙනකොට මම ටොයිලට් අස්සෙත් බැලුවා. ඒත් දොන් පේන්න හිටියෙ නැහැ. පස්සෙ දොන් කියනවා මම කොමොඩ් එකේ ටොයිලට් එක උඩ නැගලා හිටියේ පේන නිසා කියලා. ඒ තරමට බැට් කරන්න බයේ තමයි ඉඳලා තියෙන්නෙ. ඒ අත්දැකිම් එක්ක අපේ ක්‍රිකට් දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා.
දැනුත් වකාර්ලව හම්බ වුණාම කියන්නෙ මාව අවුට් කරන්න හරිම කරදයක් තිබුණෙ කියලා. ඔළුවටයි ඇඟටයි කොහෙට දැම්මත් අවුට් කරන්න බෑලු. මාව අවුට් කරන්න වෙනම ප්ලෑන් එකක් ඒ අය හදනවා කියලත් කියනවා. කොහොම හරි ඒ දවස්වල පන්දු යවන්නන් මගේ ළඟට ඇවිල්ලා අමු තිත්ත කුණුහරුපෙන් මට බනිනවා. මොකද මම අල්ල අල්ල විකට් එකේ ඉන්න එකට ඒඅ යට හොඳටම එපා වෙලා ඉන්නෙ.
එම්.සී.සී. ක්‍රීඩාංගණයේ තිබුන තරගයක ග්ලෙන් මැක්ග්‍රාත් මගේ ඇඟටම බෝල් කරනවා. එතකොට පහරක් ගැහුව්වොත් අවුට්. ඇල්ලුවත් අවුට්. කොහොම හරි මගේ ඇලපතේ බෝල පහළොවක් විතර වැදිලා ඩේ‍රසින් රූම් එකට යනකොට නිල් පාටට ඉදිමිලා.
ඒ කාලෙ අපිට හයියෙන් දාන බෝලස්ලට පැක්ටිස් කන්න වෙන්නෙ නැති හින්දා ටෙනිස් බෝලයට ටේප් ඔතලා බවුන්සර් පන්දුවලට ප්‍රැක්ටිස් කරනවා. අපි විසේ සංචාරවලට ගියාම රෑට හෝටලයේ කොරිඩෝවෙත් ටෙනිස් බෝලයට ටේප් ඔතල ප්‍රැක්ටිස් කරනවා. ඉතින් අහල පහල රූම්වල කට්ටියට මේ සද්ද බද්ද වධයක් හින්දා කම්ප්ලේන් කරපු අවස්ථාත් තියෙනවා.
කොහොම වුණත් හෂාන් වාසනාවන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඒ ඔහුගේ දෙමව්පියන්ද ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුන නිසාවෙනි. නමුත් අනතුරුව තමාගේ දරුවන්ද ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුනි. එයින් දුවිඳු තිලකරත්න ජාතික කණ්ඩායමට නම් විමද හෂාන්ගේ ජිවිතයේ සුන්දරම සහ වාසනාවන්තම අවස්තාවකි.