2022 වසරේ ගොඩ යන ලග්න හිමියන්…

මේෂ ලග්නය

විශ්ව කේන්ද්‍රයේ හිමිකාරත්වය දරන මේෂ ලග්න හිමි කුජ ග‍්‍රහයා ග‍්‍රහ මණ්ඩලයේ සෙන්පතියා ද වේ. මොවුන් ඉතාමත් ක‍්‍රියාශිලී, තේජවන්ත ශ්‍රේෂ්ඨ සිතුවිලි ඇති, විශ්වාසවන්ත අය වෙති. ලග්නාධිපති කුජ වීම නිසා ඉවසීම අඩුකම, ආවේගශීලිත්වය නිතරම පෙනෙන්නට ඇති මෙම පුද්ගලයන් යමක් කිරීමට අවශ්‍ය වූ විට එය කෙසේ හෝ කරයි. උත්පත්ති කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩ ඇත.

ධනය – මේෂ ලග්නයෙන් උපන් ඔබහට 2022 වර්ෂය ආදායම් තත්ත්වයේ වර්ධනයක් පෙන්වන අතර එය වර්ෂය පුරාම පවතිනු ඇත. එහෙත් එම තත්ත්වයන් උදාවීමේදී බොහෝ මහන්සි වී වැඩ කළ යුතු බව කිව යුතුය. වසරේ වැඩි කාලයක් ශශ නම් වූ පංච මහා පුරුෂ යෝගය 10 වැන්නේ යෙදීමත් වැඩි ග‍්‍රහයන් පිරිසක් කේන්ද්‍රයේ 10 වැන්න හරහා ගමන් කරන නිසාත් වසර පුරාම ඔබට ආදායම සරු වනු ඇත. නමුත් නොයෙක් බාධක මධ්‍යයේ ඒවා ජය ගනිමින් යායුතු බව ද කිව යුතුය.

රැකී රක්ෂා – රැකියා ක්ෂේත‍්‍රයේ ද හොඳ දියුණුවක් පෙන්වන කාලයක් වන අතර අවුරුද්ද පුරාම එම තත්ත්වයන් පවතිනු ඇත. එහෙත් කඩාකප්පල්කාරී නොයෙක් ගැටලූ සහගත තත්ත්වයන් මතු විය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කළහොත් උසස් වීම්වලට ද හේතු පෙන්වයි.

ගෘහ ජීවිනය – ගෘහ ජීවිතයේ දී තදබල අශුභ පිහිටීම් නැතිමුත් සැනසිලි දායක ජීවිතයක් ගත කිරීමේ භාග්‍ය මෙම වසරේ දී උදාවන බව පෙනෙන්නට ඇත. කේන්ද්‍රයේ වැඩිම ග‍්‍රහයන් පිරිසක් 10 වැන්න හරහා ගමන් කිරීමත් හතර වැන්නේ පාපීන් නොසිටීමත් හේතුකොට ගෙන නව නිවාස තනා

ගැනීමටත් අදෘෂ්‍යමාන බලපෑම්වලින් තොරව ආගම දහමට ලැදිව සතුටින් ජීවත්වන කාලයක් ලෙසටත් පෙනෙන්නට ඇත. විවාහ නොවුණ අයගේ අලූත් සබඳතා ඇති වීමට හේතු පෙන්වන අතර අනවශ්‍ය සම්බන්ධකම් ඇති නොවීමටත් වගබලා ගතයුතු වේ.

සෞඛ්‍ය තත්ත්වය – වසරේ මුල් කාලයේදී යම් යම් රෝගී තත්ත්වයන්වලට හේතු පෙන්වන අතර අර්ශස් රෝග තත්ත්වයන් ද ඇති වේ. පසුකාලීනව යහපත් තත්ත්වයක් මතු කරත් එහෙත් වසරේ අවසාන කාලයේ දද කුෂ්ට වැනි චර්ම රෝග තත්ත්වයන් මතු කරන බව ද පෙනී යන අතර එසේම ඔළුව ආශ‍්‍රිතව ඔපරේෂන් තුවාලවීම් ද සිදු විය හැකිය. උෂ්ණ රෝග තත්ත්වයන් ද පෙන්නුම් කරයි.

අධ්‍යාපනය – වසරේ මුල් භාගයේ දී අධ්‍යාපන තත්ත්වයන්වල යම් යම් බාධා මතු කළ ද වසර අවසානයේ දී සුභදායි ලෙස අධ්‍යාපන කටයුතුවලට ද මඟ පාදා ගත හැකිය.

ශුභ දින – අඟහරුවාදා, බ‍්‍රහස්පතින්ද්‍ර
අය :- 11 වැය :- 05

වෘෂභ ලග්නය

විවාහය හා ආදරය, සෞම්‍ය ගති පෙන්වන ග‍්‍රහ මණ්ඩලයේ මනමාලිය ලෙසින් නම් කළ හැකි සිකුරු ග‍්‍රහයාට හිමි වෘෂභ ලග්නයට අයත් පුද්ගලයන් අලංකාර දේ පිළිබඳව මෙන්ම කලාකාමී අදහස් ද දරයි. ස්ථිරසාර ගති ඇති වෘෂභ ලග්න හිමියන් තේරුම් ගැනීමට අපහසු ගුප්ත ගතියක් ද පෙන්වනු ඇත. මිල මුදල් සම්බන්ධව පරිස්සම් වන මොවුන් කිසිවකු සමඟ අමනාප නොවේ. නමුත් උත්පත්ති කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩ ඇත.

ධනය – වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2022 වර්ෂය ආරම්භයේ සිටම ධනයට යහපත් වන අතර ආයාසයෙන් තොරව මුදල් ලැබීමේ ක‍්‍රම පෑදීමට පුළුවන. කලාත්මක දේවලින් ධනය උපයන අයට ඉතාමත් යහපත් වර්ෂයක් වන බව ද පෙනේ. වසරේ මුල් කාලයේ දී වැඩි වශයෙන් ධනය ලැබීමේ මාර්ග පෑදුන ද වසර අවසාන කාලයේ දී යම් අඩුවක් ඇති වීමට හැකිය. වියදම් පාර්ශ්වය ඉතාමත් වැඩිවන්නේ වසරේ මැද භාගයේ දීය. අනවශ්‍ය වියදම් මගහැර ගතහොත් යම් ඉතිරියක් කර ගත හැකි බව ද කිව යුතුය. කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ආදායම් වර්ධනයක් දැකිය හැකි වර්ෂයකි.

රැකී රක්ෂා – වසරේ මුල් කාලයේ දී රැකියාවලින් උසස් වීම්, උසස් අය ඇසුර නිසා වාසනාව ලැබීම් ඇති විය හැකි වුව ද වසර මැද භාගයේ දී රැකියා කඩාකප්පල් වීම ද දැකිය හැකිය. නමුත් වසර අවසාන භාගයේ දී මෙම තත්ත්වය පහව ගොස් යථා තත්ත්වයක් ඇති විය හැකි අතර බුද්ධිමත්ව හොඳ අවබෝධයෙන් කටයුතු කළහොත් වාසනාව උදා කර ගත හැකිය.

ගෘහ ජීවිතය – වසරේ මුළු කාලය තුළ ම කේන්ද්‍රයේ 04 වැන්න හරහා පාපීන් ගමන් නොකිරීම හේතුකොටගෙන නිවස තුළ සතුට ඇති වීමටත් අලූත් නිවාසවල හිමිකම් ඇති වීමටත්, හේතු පෙනුනද විවාහ ජීවිතයේ දී මුල් මාස කිහිපය සුබ ඵල නොපෙන්වන අතර නමුත් වසරේ අවසාන භාගය යහපත් වනු ඇත. එසේ වුවත් අනවශ්‍ය සම්බන්ධකම් නොයෙක් විට ඇති වීමේ ඉඩකඩ ඇතිවිය හැකි නිසා බුද්ධිමත් වීම යහපති. එම නිසා පවුලේ ආරවුල් තත්ත්වයන් ද මතුවිය හැකිය.

සෞඛ්‍ය තත්ත්වය – වසරේ මුල් භාගය තරමක් ශුභ පිහිටීම් පෙන්නුම් කළ ද කේතු ග‍්‍රහයා රෝගස්ථානයේ වසරේ අවසාන භාගය පුරාම ගත කිරීමත් කුජ රාහු මෙන්ම පාපීන් 12 වැන්නේ සිටීමත් හේතු කොටගෙන වසර පුරාම සෞඛ්‍ය තත්ත්වයේ යම් යම් ගැටලූ සහගත තත්ත්වයන් වසංගත රෝග තත්ත්වයන් මෙන්ම චර්ම රෝග කකුල්වල පහළ කොටස් කැඩුම් බිඳුම් ආශ‍්‍රිත අසනීප තත්ත්වයන් ද පෙන්වන නිසා ප‍්‍රවේශම් වීම යහපති.

අධ්‍යාපනය – කලාත්මක ක්ෂේත‍්‍රයෙන් අධ්‍යාපනය ලබන අයට ශුභ අධ්‍යනය වරම් හිමිවන අතර මුල් කාලය මෙන්ම අවසාන කාලය ද යහපත් ය. එහෙත් වසර මැද කාලය එතරම් ශුභ පිහිටීම් නැති අතර එහෙත් උනන්දුව හා විශ්වාසය තුළින් යහපත් අධ්‍යාපන තත්ත්වයක් ගොඩනඟා ගත හැකිය.

ශුභ දින – සිකුරාදා, සෙනසුරාදා
අය :- 05 වැය :- 14

මිථුන ලග්නය

අධ්‍යාපනයට කාරකත්වය දරන බුධ ග‍්‍රහයාට හිමි මිථුන ලග්නය හිමි පුද්ගලයන් ලේඛන කලාවට වැඩි නැඹුරුතාවයක් දක්වයි. මොවුන් අවස්ථානුකූලව වැඩ කිරීම, තීරණ ගැනීමේ අපහසුව, ඒ නිසා නිතරම අදහස් වෙනස් කිරීම දැකිය හැකිය. අනුන්ගේ ප‍්‍රශ්න තමන් වෙත පවරාගෙන නිදහස සීමා කර ගනී. බොහෝ මිතුරු මිතුරියන් ඇති මිතුරෙකු ලෙස ඇසුරු කිරීමට ඉතාමත් යහපත් අයෙකු වශයෙන් මිථුන ලග්න හිමියන් හඳුන්වාදීම සුදුසුය. උත්පත්ති කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩ ඇත.

ධනය – වසරේ මුල් කාලවකවානුව එතරම් ශුභඵල ධනයට නොපෙන්වන අතර නමුත් වසර මැද භාගය ඉතාමත් යහපත් වනු ඇත. මුල් කාලයේ දී ලැබිය යුතු දේ පවා නොලැබෙන ග‍්‍රහ පිහිටීම් ඇතත් පසුව ඔබට ධන මාර්ග පෑදීමට හිමිකම් ඇත. ලැබෙන ප‍්‍රමාණයට වඩා වියදම් වෙන ගති පෙන්වන නිසා අරපරෙස්සම යහපත් ය. රැවටීම්වලට අසු නොවීමට වගබලා ගත යුතු කාලවකවානුවකි.

රැකී රක්ෂා – රැකියා ක්ෂේත‍්‍රයේ දියුණුවක් බලාපොරොත්තු විය හැකි අතර උගතුන් බුද්ධිමතුන්ගේ ආශ‍්‍රය වැඩිවන කාලයකි. ප‍්‍රධානත්වය හිමිවන අතර අවුරුද්දේ අවසාන කාලය රැකියා උසස්වීම්වලට හේතු පෙන්වනු ඇත. රැකියාවේ ගෞරවය මෙන් තමාගේ ගෞරවය ද රැක ගනිමින් බාධක මැඩගෙන ඉදිරියට යන ශුභ කාලවකවානුවත් ලෙස කිව හැකි කාලයකි.

ගෘහ ජීවිතය – ගේ දොර ඉඩකඩම් භාග්‍ය, සාමකාමී පරිසරයක සතුටින් සිටීමට ශුභ ග‍්‍රහ පිහිටීම් ඇති අතර නමුත් වසර අවසාන කාලය දරුවන්ගේ යම් යම් රෝගාබාධ ගැටලූ නිසා පීඩා විඳීමට සිදුවිය හැකිය. දරුවන්ගේ අධ්‍යාපනයට බාධා ඇති නොවනු ඇත. එහෙත් රෝගාබාධවලට ඉඩ ඇත.

සෞඛ්‍ය තත්ත්වය – ඔබට බඩ ආශ‍්‍රිතව අසනීප තත්ත්වයන් කකුල්වල පහළ කොටසේ වේදනා කැක්කුම්, කැඞීම්, බිඳීම් ඇති විය හැකි බව ද ගුද මාර්ගය හෝ ඒ ආශ‍්‍රිත අසනීප තත්ත්වයන්වලට ද හේතු පෙන්වයි. තදබල අපල තත්ත්වයන් නැතත් වසරේ මැද භාගය තරමක් ප‍්‍රවේසම් වීම යහපත් වේ. කකුල්වල පහළ කොටසේ චර්ම රෝගවලට ද හේතු පෙන්වයි.

අධ්‍යාපනය – අධ්‍යාපනය ලබන මෙම කාලයේ දී කැම්මැලි හෙවත් අලසභාවය ඉවත් කර මහන්සි වී අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතු අතර පොතපත ආශ‍්‍රිතව බොහෝ දැනුම ලබාගත හැකි කාලයකි. වසරේ අවසාන කාලයේ දී පවා යම් යම් රෝග පීඩා හේතුවෙන් අධ්‍යාපන තත්ත්වයට බාධා ඇති කර ගත්ත ද හොඳ අධ්‍යාපන වරම් ඔබට හිමිව පවතී. උසස් අධ්‍යාපනයට නොයෙක් විට බාධා පැමිණෙනු ඇත. උත්සාහවන්ත වීම යහපති.

ශුභ දින – බදාදා, සිකුරාදා
අය :- 11 වැය :- 11

කටක ලග්නය

මිනිසුන්ගේ මනසට කාරකත්වය දරන, ග‍්‍රහ මණ්ඩලයේ මවු ලෙසින් හඳුන්වන සඳුට අයත් කටක ලග්න හිමියන් අන් අයට බොහෝ සෙයින් ආදරය දැක්වුව ද පෙරලා ඔවුන්ට ආදරය ලැබෙන්නේ සුළු වශයෙනි. කපටිකමින් තම ආදායම් මාර්ග ලබා ගැනීමට උත්සාහ නොකරන නමුත් කරදරයට පත් වූවන්ට මෙන්ම දුර්වල අයට උදව් කරයි. එළිපිට ඕනෑම දෙයක් කියන කටක ලග්න හිමියන් තම දැනුම අන් අයට බෙදා දීමට වැඩි කැමැත්තක් දක්වයි. උත්පත්ති කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩ ඇත.

ධනය – කටක ලග්නයට ධනස්ථානාධිපති රවි වසරේ මාස 12 තුළ සියලූම රාශී හරහා ගමන් කරන අතර යෝගවීම් අනුව වෙනස් වෙයි. වසරේ මුල් කාලයේ දී පාප ස්ථාන හරහා ගමන් කරන නිසා යම් යම් බාධා ඇති කරන නමුත් වසර අවසාන කාලයේ ආදායම යහපත් වනු ඇත. එසේ වුවත් බාධක මැද ඉදිරියට යන ගතියක් පෙනේ. ව්‍යාපාර තුළින් ධනය ලැබීමට හිමිකම් වැඩි බවත්, ශශ යෝගය 07 වැන්නේ පිහිටීම නිසා ද ධනය නොයෙක් මාර්ග ඔස්සේ ගලාගෙන එන ස්වභාවයක් ඇත. නමුත් වියදම් අධික වේ.

රැකී රක්ෂා – රැකියා කාරක සෙනසුරු ග‍්‍රහයා ශශ යෝගය සාදාගෙන 10 අධිපති සමඟ යෝග වීම් ඇතත් නොයෙක් විට රැකියාවල වෙනස්වීම් මෙන්ම කඩාකප්පල් ස්වභාවයක් විටින් විට පෙන්වන ස්වභාවයක් ඇත. රැකියා වෙනස්වීම් ස්ථාන මාරු නොයෙක්වර හිමිවන අතර බුද්ධිය මෙහෙයවා කටයුතු නොකළහොත් රැකියා අහිමි වීම් පවා වසර මැද භාගයේ දී ඇතිවිය හැකිය. කලින් කලට වසර පුරා නොයෙක් වෙනස්වීම් මත රැකියා තත්ත්වයන්වල ගැටුම සහ ශුභ ප‍්‍රතිඵල ද හිමිවීම් දැකිය හැකි ය.

ගෘහ ජීවිතය – නොයෙක් විට වෙනස්වීම් ඇති වන අතර පවුල් ජීවිතය තරමක නීරස ගතියක් දැනෙන කාලයක් ලෙස පෙනේ. විටින් විට තම ගෙවල්වල වාස්තු දෝෂ තත්ත්වයන් නිසා අදෘෂ්‍යමාන තත්ත්වයන් පැන නැගිය හැකිය. ඒ නිසා නිවසේ සාමය සතුට අඩුවේ. වියදම් පාර්ශවය තරමක් වැඩි වන අතර අනවශ්‍ය සබඳකම් ඇතිවීම් නිසා ද ලෞකික ජීවිතය කලකිරීම් නිසා ද සිතේ සතුට අඩුවේ.

සෞඛ්‍ය තත්ත්වය – වසරේ මුල් කාලය සහ අග කාලයේ දී ස්ත‍්‍රී පාර්ශ්වයට යම් යම් රෝගී තත්ත්වයන් පෙන්වන අතර දණහිස ආශ‍්‍රීතව මෙන්ම පපුව ආශ‍්‍රිතව අසනීප ගෙනුදෙනු ඇත. ලේ සම්බන්ධ රෝග සැඟවුණු රෝගාබාධ ඇතිවිය හැකි අතර ස්ත‍්‍රීන්ට විශේෂ වූ රෝගාබාධවලට අයහපත්ය.

අධ්‍යාපනය – කටක ලග්න හිමි ඔබට ගෝචර පිහිටීම් අනුව අධ්‍යාපන වාසනාව ඇති අතර උසස් අධ්‍යාපනයට, විදෙස් අධ්‍යාපනයට වසර මැද භාගය සහ අවසාන කාලය ශුභ වනු ඇත. වසරේ මුල් කාලයේ දී නොයෙක් අසනීප තත්ත්වයන් මත අධ්‍යාපන තත්ත්වයන් පහළ වැටුණ ද මැද භාගයෙන් පසුව ඉතාමත් වාසනාවන්ත අධ්‍යාපනයකට හිමිකම් කිව හැකිය.

ශුභ දින – සඳුදා, අඟහරුවාදා
අය :- 05 වැය :- 08

සිංහ ලග්නය

සිංහයාගේ තේජස එම ආකාරයෙන්ම පෙන්වා දිය හැකි සිංහ ලග්නය හිමි රවි පියාවද නියෝජනය කරන අතර මුළු විශ්වයටම ජීවය දෙන්නා වේ. අසමසම චිත්ත ශක්තියක් ඇති ආත්ම ශක්තියෙන් හෙබි සිංහ ලග්න හිමි පුද්ගලයන් බියෙන් සැකෙන් තොර මෙන්ම හේතුවක් නොමැතිවම අධිමානයෙන් පසුවන ස්ථීර ගතිගුණ ඇති අය වෙති. සමාව දීමේ ගුණය බොහෝ සෙයින් අඩු මොවුන්ගේ උත්පත්ති කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් ලබා දෙනු ඇත.

ධනය – ඔබගේ ධනස්ථානාධිපති වන බුධ ග‍්‍රහයා වසරේ මුල් කාලය තුළ එතරම් බලවත්ව නොපිහිටිය ද වසර අවසාන කාලය තුළ යහපත් තත්ත්වයක් ගොඩනඟා ගැනීම නිසා ආදායම් තත්ත්වය යහපත් වේ. ධනය ලැබීම් යහපත් තත්ත්වයක පැවතියත් වියදම් පාර්ශ්වයව බොහෝ විට වැඩි වන්නේ ලෞකික සැප විඳීමට යෑමෙන් බව පෙනී යයි. කෙසේ වෙතත් ගේ දොර ඉඩ කඩම් ගැනීමට පවා ධනය ලැබෙන බවත් පෙනේ.

රැකි රක්ෂා – මුල් කාලයේ රැකියාවල වෙනස්කම් ඇති වුව ද පසුකාලීන යහපත් තත්ත්වයක් ගොඩනැෙඟනු ඇත. එසේ වුවත් ගෞරවයට හානිදායක දේ සිදු විය හැකි නිසාත් උගත් බුද්ධිමත් අයගේ ප‍්‍රසාදය යම් ප‍්‍රමාණයකට අහිමි වීම නිසාත් අවබෝධයෙන් රැකියා කටයුතුවල නිරත වීම යහපති. වසරේ අවසාන කාලය තුළ රැකියා නිසා ගැටුම්, මානසික බිඳවැටීම් සිදුවිය හැකි බැවින් ඉවසීමෙන් මෙම කාලය ගෙවා දැමිය යුතු වේ.

ගෘහ ජීවිතය – වසරේ මුල් කාලයේ දී ගේ දොර ගැටලූ සහගත තත්ත්වයන් පැන නැගිය හැකි අතර නමුත් වසරේ මැද භාගයේ දී යහපත් තත්ත්වයක් පෙන්නුම් කරයි. විවාහ ජීවිතයේදී අනවශ්‍ය ආදර සම්බන්ධකම් ඇතිවිය හැකි නිසා බුද්ධිමත් වීම යහපති. පවුල් ජීවිතයේ ගැටුම් තත්ත්වයන් අඩු කරගැනීමට වැඩි වශයෙන් ධර්මානුකූලව කටයුතු කිරීමටත් සිතාගත යුතු වේ.

සෞඛ්‍ය තත්ත්වය – සෙම්රෝග තත්ත්වයන් පෙනහලූ ආශ‍්‍රිත රෝග යටි බඩ හා මුත‍්‍රා මාර්ග හරහා රෝග තත්ත්වයන් ඇති වේ. ස්ත‍්‍රී පාර්ශ්වයට වැලඳෙන රෝගී තත්ත්වයන් ද වැඩි විය හැකිය. බොහෝ විට කකුලේ මෙන්ම උකුල ප‍්‍රදේශයට සම්බන්ධ කැඞීම් බිඳීම් හෝ ඒ ආශ‍්‍රිත අසනීප තත්ත්වයන් ද දණහිස්වලද, වාහනවලින් ද අනතුරු සිදුවිය හැකිය.

අධ්‍යාපනය – වසරේ මුල් භාගයේ දී අධ්‍යාපන කටයුතුවලට බාධා කරදර පැමිණෙන අතර යම් යම් කාලවලදී ශුභ තත්ත්වයන් ද ඇතිවිය හැකිය. උනන්දුව හා උත්සාහය තුළින්ම අධ්‍යාපන තත්ත්වයන් වර්ධනය කර ගත යුතුය. උසස් අධ්‍යාපන පිහිටීම් ද මද වශයෙන් දුර්වලව පවතී. එසේ වුවත් වසර අවසාන කාලයේදී යම් නැගිටීමක් ඇතිවිය හැකිය. හොඳින් තේරුම් ගෙන උපරිම උත්සාහයෙන් කටයුතු කිරීමෙන් යහපත් තත්ත්වයක් ඇති වේ.

ශුභ දින – ඉරිදා, අඟහරුවාදා
අය :- 08 වැය :- 05

කන්‍යා ලග්නය

පංච මහා පුරුෂ යෝග අතරින් මහා බලවත් භද්‍රා යෝගය යෙදෙන බුධ ග‍්‍රහයාට හිමි කන්‍යා ලග්නය දරන පුද්ගලයන් ගැටලූ විසඳා ගැනීමේ මනා හැකියාවක් ඇති අය වෙයි. මිතුදම් වැඩි කලක් පවත්වාගෙන යෑමට අපහසු කන්‍යා

ලග්න හිමියෝ නිරෝගීභාවයෙන් ඉහළ වේ. සමාජයේ ගෞරවය ලබන මෙම ලග්න හිමි අයට දකින දේ ග‍්‍රහණය කර ගැනීමේ මනා හැකියාවක් ඇත. අනවශ්‍ය දේට වියදම් කරනු දැකිය හැකි අතර උත්පත්ති කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් ඇති කරයි.

ධනය – කන්‍යා ලග්නයේ 02 වැන්න අධිපති සිකුරු ග‍්‍රහයා වසර පුරාම මෙන් ශුභ ග‍්‍රහයන් සමඟ යෝග වෙමින් ධනයට යහපත් පිහිටීම් පෙන්නුම් කරන අතර වියදම් පාර්ශ්වය වැඩි වන බව පෙනේ. එසේ වුවත් අනවශ්‍ය වියදම් අඩු කර ගැනීම තුළින් යම් ධනයක් ඉතිරි කර ගැනීමට හැකි බව පෙන්වා දිය යුතුය.

රැකියාව – මුල් කාලය තුළ රැකියා තත්ත්වයේ ශුභ පිහිටීම් නැති අතර නමුත් වසර මැද භාගය හා අවසාන කාලය තුළ යහපත් බවක් පෙනේ. එහෙත් බාධා කරදර මැදින් රැකියාව කරගෙන යායුතු අතර බුද්ධිය මෙහෙයවා කටයුතු කළ යුතු බව ද කිව යුතුය. රැකියාව වඩාත් සාර්ථක කර ගත හැකි වන්නේ වසරේ මැද භාගයේදීය. එම කාලයේ දී රැකියා උසස් වීම් ද ලබා ගත හැකි වේ.

ගෘහ ජීවිතය – ගෘහ ජීවිතය ගත කිරීමේ දී බාධා කරදර පැමිණිය හැකි බැවින් ඉතාමත් ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කළ යුතු වේ. පවුලේ ශුභ තත්ත්වයන් ගොඩනඟා ගැනීමට නම් වැඩි වශයෙන් ආගමානුකූලව ජීවත් වීම යහපත් ය.

සෞඛ්‍ය තත්ත්වය – ඔබට බඩ ආශ‍්‍රිතව හා දත්, ගුද මාර්ගය ආශ‍්‍රිත අසනීප, මේදය තැන්පත් වීම් තුළින් පීඩා වීදීම්, උකුල ප‍්‍රදේශයේ වේදනා තත්ත්වයන්, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් උත්සන්න වන කාලවකවානුවක් විය හැකිය. එසේම හදිසි අනතුරු හා සෞඛ්‍ය ගැටලූ නිසා ඇතිවන තත්ත්වයන් මෙන්ම වසංගත තත්ත්වයන්ගෙන් ද හොඳින් ප‍්‍රවේශම් වීම යහපත් ය.

අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවලට වසරේ මුල් කාලයේ ශුභ පිහිටීම් ඇතත් කම්මැලිකම් තුළින් බාධා පැමිණිය හැකිය. උසස් අධ්‍යාපනයට ද බාධා කරදර ගෙනදෙන නමුත් උත්සාහය මත ඉගෙන ගතහොත් මනා උගත්කමක් ඇතිව උසස් අධ්‍යාපන වරම් මෙන්ම ගුප්ත විද්‍යා ඉගෙන ගැනීමට පවා වාසනාව ඇත.

ශුභ දින – බදාදා, සිකුරාදා
අය :- 11 වැය :- 11

තුලා ලග්නය

තරාදිය සංකේතවත් කර ගනිමින් යුක්තිය පසදන ග‍්‍රහ මණ්ඩලයේම සියුමැලි අලංකාරවත්වයට හිමිකම් කියන සිකුරුට හිමි තුලා ලග්න හිමියන් සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව මෙන්ම තර්ක කිරීමේ හැකියාව ද පෙන්වනු ලබයි. සමාව දීමේ ගුණය ඉතාමත් ඉහළින් පෙන්වනු ලබන තුලා ලග්න හිමියන් ක්ෂණිකවම කෝපයට පත් වීම ඉක්මනින් එම තත්ත්වය පහව ගොස් එම තත්ත්වය ගැන පසුතැවීම මොවුන්ගෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. පරිණත දැනීම ඇතත් බොළඳ ගති පෙන්වන මොවුන්ගේ ග‍්‍රහ පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් ඇති විය හැකිය.

ධනය – තුලා ලග්නයෙන් උපන් ඔබගේ ධනස්ථානයේ අධිපති කුජ ග‍්‍රහයා වියදම් වැඩි කරන නිසාත් පාපීන්ට මැදිව වැඩි කාලයක් වසර පුරා ගෙවෙන බැවිනුත් ධනයට එතරම් ශුභ පිහිටීම් නැත. එහෙත් විටින් විට ශුභදායක පිහිටීම් ඇති වේ. වසරේ අවසාන භාගය ධන නාස්තිය ඇති විය හැකි බැවින් කල්පනාකාරීව වියදම් කිරීම යහපත්ය.

රැකියාව – බොහෝවිට වසරේ මුල් කාලයේ දී රැකියාවල විශාල වෙනසක් නොමැති වුවත් රජයේ රැකියා ඉල්ලූම් කරන්නන්ට යහපත් බවක් පෙනේ. වෙළෙඳාමට, අලෙවි නිලධාරීන්ට ශුභ පිහිටීම් පෙන්නුම් කරන අතර වසරේ අවසාන කාලය රැකියාවේ දියුණුවක් නොබලාම සුපුරුදු පරිදි රැකියාවේ නිරත වනු දැකිය හැකිය. විවිධ වාසි සහගත තත්ත්වයන් මතු වුව ද ඒවා බුද්ධියෙන් කටයුතු කර ලබාගත යුතු වේ.

ගෘහ ජීවිතය – වසරේ මුල් කාලයේදී විවිධ පුද්ගලයන්ගේ වංචාවලට ගොදුරු විය හැකි ය. එහෙත් වාහන හා නිවාස ලැබීමේ වාසනාව හිමි වේ. බොහෝ විට යම් යම් අමනාපකම් විවිධ පුද්ගලයන්ගේ ගැරහුම්වලට ද මානසික කරදර තත්ත්වයන්වලට ද ලක්විය හැකිය. වසරේ අවසාන කාලය මුල් කාලයට වඩා තරමක් අශුභ ඵල ගෙන දෙන අතර එහෙත් ආගමානුකූලව කටයුතු කිරීමෙන් හා මෛත‍්‍රී භාවනාව වඩමින් දැහැමිව ජීවත් වීමෙන් යහපත උදාකර ගත යුතු වේ.

සෞඛ්‍ය තත්ත්වය – බොහෝ විට මෙම වසරේ මුල් කාලයේදී සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් ශුභ ඵල ඇති වුව ද අවසාන භාගය වන විට බඩ පපුව මෙන්ම වකුගඩු මුත‍්‍රා රෝගවලට, වාත රෝග තත්ත්වයන් වලට හේතු පෙන්වන අතර වසර ගෙවී යන කාලයේදී අර්ශස් වැනි රෝග තත්ත්වයන්, මළ මාර්ගයේ අසනීප තත්ත්වයන් ද මතුවිය හැකිය. බොහෝ විට වසංගත රෝග තත්ත්වයන් ගොදුරු වීමේ හේතු පෙනෙන්නට ඇති නිසා පරිස්සම් වීම යහපත් වේ.

අධ්‍යාපනය – වසරේ මුල් කාලයේදී අධ්‍යාපනයට වාසි සහගත තත්ත්වයන් පෙන්නුම් කරයි. එහෙත් මැද භාගයේ දී එතරම් ශුභ ඵල නොපෙන්නුවත් කලා ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව මෙන්ම කළමනාකාර විෂයන්වල යෙදෙන අයට අධ්‍යාපනය යහපත් විය හැකිය. එසේ වුවත් කම්මැලිකම් අඩුකරගෙන වැඩියෙන් මහන්සි වන අයට ප‍්‍රතිඵල යහපත් වේ. එවිට මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැතත් ඉහළ ප‍්‍රතිඵල උදාකර ගත හැකිය.

ශුභ දින – සිකුරාදා, සෙනසුරාදා
අය :- 05 වැය :- 14

වෘශ්චික ලග්නය

ධනයට එතරම් ආසාවක් නොදක්වන, ආත්ම ගරුත්වය අගය කොට සලකන, ආවේගශීලීම ග‍්‍රහයා වන්නේ කුජ වන අතර ක‍්‍රියාකාරිත්වයෙන් හා තීක්ෂණ නුවණින් ඉහළ තැනක් ගන්නා වෘශ්චික ලග්නය අයත් පුද්ගලයන් දුරදිග බලා අවස්ථානුකූලව පසු බසිනු දැකිය හැකිය. උපක‍්‍රමශීලී බව, කිසිවෙකුට යටත් නොවීම, අන් අයගේ ගුණදොස් විවෘතව කීම, තමන්ට ප‍්‍රත්‍යක්ෂ දේ පමණක්ම පිළිගැනීම, කරන කාර්යය සැලසුමකට කිරීම මොවුන්ගේ ලක්ෂණයන් වේ. උත්පත්ති කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩ ඇත.

ධනය – ධන කාරක ගුරු වසර පුරා ශුභදායක තත්ත්වයක් පෙන්නුම් කරන අතර ගේ දොර ඉඩකඩම් ලබා ගැනීමට වාහන මෙන්ම තැන්පත් ධනය වැඩිකර ගැනීමට ශුභ පිහිටීම් පෙන්නුම් කරනු ඇත. වසර පුරාම යහපත් ලෙස ධනය උපයන්නේ නම් ඉතාමත් ශුභ ලෙස ඵල ප‍්‍රයෝජන ලබාගෙන ධනය හිඟයකින් තොරව ජීවත් විය හැකිය.

රැකියාව – වසරේ මුල් කාලයේ දී රැකියාවේ යම් යම් බාධා කරදර පැන නැඟිය හැකි වුවත් මැද භාගයෙන් පසුව ශුභ ඵල ගෙන දෙනු ඇත. එහෙත් මුල් කාලයේදී කපටි මිනිසුන්ගෙන් පරිස්සම් වීම යහපත් වේ. ජනප‍්‍රිය ලෙස රැකියාව කිරීමේ භාග්‍ය ඇතිවිය හැකි පිහිටීම් ද ඇතිවන අතර කෙසේ වෙතත් මුළු වසර පුරාම රැකියාවේ තදබල අපල තත්ත්වයන් පැන නොනැගිය හැකිය. එහෙත් උත්පත්ති කේන්ද්‍රයේ යම් යම් දෝෂ තත්ත්වයන් මත සුළු සුළු වෙනස්කම් සිදු විය හැකිය.

ගෘහ ජීවිතය – වසරේ මුල් කාලයේ දී යම් යම් පීඩාකාරී තත්ත්වයන් ද මතු කරන අතර වසර මැද දක්වා එම තත්ත්වයන් පවතී. එහෙත් පවුල් ජීවිතයේ ගැටුම් ඇති නොවී සමඟියෙන්, ජීවත් විය හැකි වටපිටාවක් ඇති වන්නේ වසර පුරාවට ඔබ බුද්ධිමත්ව කටයුතු කළහොත්ය. ආගම දහමට ලැදිව මෙම වසර පුරාම ගෙවා දැමීම තුළින් පෙර පිං තත්ත්වයක් ද මතු වේ.

සෞඛ්‍ය තත්ත්වය – ඔබගේ කේන්ද්‍රයේ වසරේ මුල් කාලවකවානුව තුළ හිසේ අමාරු, ඇස්වල දෝෂ තත්ත්වයන් පැන නඟින අතර වසරේ අවසාන කාලය පුරාම යම් යම් රෝගාබාධවලට මුහුණ දීමට සිදු වේ. කුජ රාහු රෝගස්ථාන ගත වීමත් පසුව කුජ ග‍්‍රහයා 07 වැන්න හරහා ගෝචර කිරීමත් නිසාත් මෙසේ වේ. කෙසේ වෙතත් සෞඛ්‍ය තත්ත්වයේ යම් යම් දුබලකම් පෙන්වන වසරක් ලෙස කිව හැකිය.

අධ්‍යාපනය – මෙම ලග්න හිමි අයට අධ්‍යාපන ක්ෂේත‍්‍රය ඉතාමත් යහපත් වන බවක් පෙනේ. නව දැනුම සොයාගෙන යන වසරක් ලෙස දැක්විය හැකි අතර උනන්දු වුවහොත් වඩාත් ශුභ ඵල ගෙනදෙනු ඇත.

ශුභ දින – අඟහරුවාදා, සඳුදා
අය :- 11 වැය :- 05

ධනු ලග්නය

ගුරු ග‍්‍රහයා ලග්න ගත වීමෙන් හෝ දෘෂ්ටියක් ලග්නයට ලැබීමෙන් පමණක්ම මහා දැනුමක් ගොඩ නැගෙන ග‍්‍රහ මණ්ඩලයේ දේවත්වයෙන් සලකන ගුරුට හිමි ධනු ලග්න හිමියන් යුක්ති ගරුක, සෘජු ගතිගුණවලින් හෙබි ආගමික නැඹුරුවක් ඇති යමක් අවසානය දක්වා කරන, දැනුම ඇති අයට ගෞරව කරන සෙනෙහස වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන නිදහස හා සාමය අගය කොට සලකන අය වෙති. මොවුන්ගේ උත්පත්ති පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් වෙනස් විය හැකිය.

ධනය – ධනු ලග්නයට ධනස්ථානයේ අධිපති ශනි ග‍්‍රහයා එම රාශියේම තැන්පත් වීම යම් ප‍්‍රමාණයකට ශුභ ඵල උදා කළත් තරමක් අමාරුවෙන් ධනය සෙවීම සිදුවිය හැකිය. මහන්සිය තරමට ප‍්‍රතිඵල උදා නොවන අතර නමුත් දැඩි උත්සහයක ප‍්‍රතිඵලයක් ලෙස හොඳ මට්ටමක් සාදා ගනීමට හැකියාව තිබේ. නමුත් වියදම් අධික වේ.

රැකියාව – රැකියා ක්ෂේත‍්‍රය තරමක් ශුභ ඵල නොපෙන්නුව ද ඉවසීමෙන් මහන්සියෙන් ප‍්‍රතිඵල උදා කර ගැනීමට හැකි අතර කපටි වංචනිකයන්ගෙන් ප‍්‍රවේසම් වීම යහපත් වේ. එහෙත් කළමනාකරණ හා අලෙවිකරණය වැනි වෘත්තීයවල යෙදෙන අයට යහපත් තත්ත්වයන් මතු විය හැකිය. රැකියාවේ ඉවසීමෙන් අන් අයව අපහසුවට පත් නොකරමින් කටයුතු කිරීමෙන් ඔබට ශුභ පිහිටීම් උදා කර ගැනීමේ හැකියාව ඇත.

ගෘහ ජීවිතය – පවුල් ජීවිතය හා ගෘහ කටයුතුවලදී වසරේ මුල් කාලය අශුභ තත්ත්වයන් පෙන්නුව ද වසරේ අවසාන කාලය යහපත් වනු ඇත. ගෘහ ජීවිතය සතුටු දායක වනු ඇත. ආගමදහමට ලැදියාව ද වාහන මෙන්ම ඉඩකඩම් ලැබීමේ භාග්‍යද හිමිවන අතර වසරේ පසු කාලීනව දරුවන්ට තරමක් බාධා කරදර අධ්‍යාපන කඩාවැටීම්වලට ද හේතු පෙන්වයි.

සෞඛ්‍ය තත්ත්වය – සෞඛ්‍ය තත්ත්වයට බොහෝ විට ශුභ නැති අතර බඩ ආශ‍්‍රිතව මෙන්ම සැත්කම්වලට ද හේතු පෙනේ. විනෝද ගමන් බිමන් යෑමෙන් ද අනතුර පෙන්වන අතර බොහෝ විට ලේ සම්බන්ධව හා වසංගත රෝග තත්ත්වවල බලපෑම් ඇතිවිය හැකිය. දත් අමාරු මෙන්ම කකුල්වල වේදනා නහර ගැට ගැසීම් ආදිය ද ඇතිවිය හැකිය.

අධ්‍යාපනය – බොහෝ විට මෙම වසර ඔබට අධ්‍යාපන කටයුතුවලදී තරමක් බාධා කරදර සහිතය. එසේම අධ්‍යාපන වරම් අහිමි විය හැකි වර්ෂයක් ලෙස ද පෙනෙන්නට ඇත. මෙම ලග්න හිමියන්ට විදෙස් අධ්‍යාපනය හෝ ගුප්ත විද්‍යා කාර්මික ක්ෂේත‍්‍රවලින් ජයග‍්‍රහණ ලබා ගැනීමේ වාසනාව ඇත. උත්පත්ති කේන්ද්‍රයේ ශුභ පිහිටීම් ඇත්නම් යහපත් වනු ඇත.

ශුභ දින – බ‍්‍රහස්පතින්දා, අඟහරුවාදා
අය :- 08 වැය :- 11

මකර ලග්නය

ග‍්‍රහ ගෝචරයෙන් ඒරාෂ්ටක ඇති කළ හැකි එකම ග‍්‍රහයා වන සෙනසුරු ග‍්‍රහ මණ්ඩලයේ වැඩකාරයා හෙවත් කම්කරුවා නියෝජනය කරයි. එමෙන්ම මකර ලග්න හිමියන් ඉතා ක‍්‍රියාකාරී, කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නා අය වෙති. නමුත් යුක්තිගරුක නොවන දේ පවා තම වාසිය වෙනුවෙන් සිදු කරන කිසිවෙකුගේ උදව් අපේක්ෂා නොකරන වාහනවලට හා ඉඩකඩම්වලට ගිජුකමක් දක්වන මොවුන් ආත්මාර්ථකාමීත්වයෙන් හෙබි පුද්ගලයන් වේ. උත්පත්ති කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩ ඇත.

ධනය – ධනයට එතරම් අශුභ පිහිටීම් නැති අතර මහන්සි වී තම ධනය එකතු කරගනී. වසර පුරාම තදබල අයහපත්කමක් ධනයට නොපෙන්වයි. මහත් වෙහෙස වී ස්ථාවර ධනයක් හිමි කරගත හැකිය. රැවටිලිකාරයන්ගෙන් ප‍්‍රවේශම් වීමට වගබලා ගත යුතු වේ. එසේ වෙතත් අධික වියදම්කාරී තත්ත්වයක් ඇති වේ.

රැකියාව – රැකියාවලින් එතරම් ඵල ප‍්‍රයෝජන නොලැබිය හැකිය. එහෙත් රැකියා අහිමි නොවනු ඇත. ඉවසීමෙන් ඔබගේ අගය වටිනාකම් පෙන්වීමෙන් හොඳ ප‍්‍රතිඵල නෙළාගත හැකිය. වරින්වර වසර පුරා රැකියාවේ යම් යම් ගැටලූ සහ අපහසුතාවලට පත් වේ.

ගෘහ ජීවිතය – වසරේ මුල් කාලයේ එතරම් අශුභ තත්ත්වයන් ගෘහ ජීවිතයදී ඇති විය නොහැකිය. එහෙත් එම වසරේ අවසාන භාගය තරමක් අශුභ වන අතර ගේ දොර ගැටලූ ඇතිවිය හැකිය. දැනට යන ඒරාෂ්ඨක තත්ත්වය නිසාත් යම් යම් පීඩාකාරී තත්ත්වයන් මතු වේ.

සෞඛ්‍ය තත්ත්වය – බොහෝ වීට මකර ලග්න හිමි ඔබගේ කකුල්වලට බඩ ආශ‍්‍රිතව මුල් කාලයේ දී පීඩාකාරී තත්ත්වයන් උදාවිය හැකිය. එසේම අවුරුද්දේ මැද භාගය එතරම් ශුභ නැති වන්නේ පපුව ආශ‍්‍රිත ලේවල දෝෂ තත්ත්වයන් මෙන්ම කැපුම් තුවාලවලට වේ. පවුලේ ගැටලූ නිසා ද රෝගාබාධ ඇති විය හැකිය. වසර අවසාන කාලයේ දී පිරිමි දරුවන්ට ද තරමක් අපල තත්ත්වයන් මතු වේ.

අධ්‍යාපනය – මුළු වසර පුරාම අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරන බවද කම්මැලිකම් මත හෝ නිවැරදිව හරි මාර්ගයේ ගමන් නොකරන නිසා ද බාධා ඇති වේ. වසරේ මැද කාලයේ දී නොසිතූ ආකාරයට අධ්‍යාපන තත්ත්වය කඩා වැටීම් පෙන්නුවයි. උත්සාහවන්ත වීම යහපත් වේ. අධ්‍යාපන තත්ත්වය කාර්මික ක්ෂේත‍්‍ර මුල් වී කරන්නේ නම් යහපත් වන අතර බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට උත්පත්ති කේන්ද්‍රයේ බල දුබලතා පරීක්ෂා කළ යුතු වේ.

ශුභ දින – සෙනසුරාදා, සිකුරාදා
අය :- 02 වැය :- 14

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියන් අත්හදා බැලීම්වලට දක්ෂ වන අතර වහා වැටහෙන නුවණක්ද ඇත. තනිව ඉගෙන ගැනීමේ හැකියාව ඇති මොවුන්ට ඉවසීමේ ගුණය ඉහළ මට්ටමක පවතී. ඇත්තම කියයි. බොරු කරන්නන්ට අකමැති, ප‍්‍රසිද්ධිය සඳහා වැඩ නොකරන දුර්වලයන්ට පක්ෂපාතී, පුද්ගලයන් තෝරා බේරා ඇසුරු කරන මෙම අයගේ උත්පත්ති කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් වෙනස් විය හැකිය.

ධනය – ගුරු ග‍්‍රහයා ලග්න ගත වී වසරේ මුල් කාලය ගෙවෙන අතර එහෙත් පසුව ධනස්ථානයට ගමන් කරමින් ධන මාර්ග පාදා දෙනු ඇත. බුද්ධිය වර්ධනය කිරීමට මෙන්ම ආදායම් මාර්ග අලූතින් ඇති වීමට හේතු පෙන්වනු ඇත. 02 වැන්නේ සහ 11 වැන්නේ අධිපති වීම නිසා තැන්පත් ධනය ද වර්ධනය විය හැකි කාලයක් වනු ඇත. වියදම් අධික වුවත් පාලනයකින් කටයුතු කළහොත් යහපත් තත්ත්වයක් ඇති වේ.

රැකි රක්ෂා – රැකියා කටයුතුවලදී යම් යම් බාධා කරදර පැමිණිය ද බුද්ධිමත් වී ඒවා විසඳා ගත හැකි කාලයක් වනු ඇත. වසරේ අවසාන භාගයේ දී රැකියා උසස් වීම්වලට ද හේතු පෙනේ. රැකියා උසස්වීම්වලට ද හේතු පෙනෙන්නේ බොහෝ සෙයින් උත්සාහවන්ත වීමෙන්ය. ඉහළ තත්ත්වයක් ලබා ගත හැකිය.

ගෘහ ජීවිතය – ඉදිරි වර්ෂය ඔබට ගෘහ ජීවිතයේ යම් යම් වෙනස් වීම් මෙන්ම අප‍්‍රසාද තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩ ඇති වේ. ඉඩකඩම් ආරවුල්වලින් මෙන්ම ගේ දොර වාස්තු දෝෂ තත්ත්වයන් පැන නැගිය හැකිය. ආදර සම්බන්ධවලට වසරේ මැද භාගය යහපත් ය. වාහන අලූතින් ගත්තේ නම් ප‍්‍රවේසම් විය යුතු බව ද පෙනේ. වසරේ අවසාන භාගය මුල් කාලයට වඩා යහපත් බවක් පෙනේ. බොහෝවිට මෙම වසර බුද්ධිමත්ව කටයුතු සිදුවන වසරක් නිසා බොහෝ ගැටළු විසඳාගත හැකිවේ.

සෞඛ්‍යය – බොහෝ විට දණහිස් ආශ‍්‍රිතව හා කකුල්වල වාතරෝග කැඞීම් බිඳීම් ආදිය ඇති විය හැකිය. වසර මැද හා අවසාන කාලය වනතුරුම සෙම්රෝග තත්ත්වයන් වසංගත තත්ත්වයන් ගෙන් ප‍්‍රවේසම් වීම යහපත් වේ. බොහෝ විට පපුව ආශ‍්‍රීත රෝග තත්ත්වයන් ගෙන් ප‍්‍රවේසම් වීම ද, වාහනවලින් සිදුවන අනතුරුවලින් බේරීමට ද කල්පනාකාරී වීම යහපත් වේ.

අධ්‍යාපනය – බොහෝ විට වසර මුල් භාගයේ අධ්‍යාපනයේ නව මාවතක් දැකිය හැකිය. පසුව තරමක් බාධා කරදර පැමිණියත් උත්සාහවන්ත වීමෙන් බොහෝ ජයග‍්‍රහණ උදා කර ගත හැකි වර්ෂයකි. වසරේ මැද භාගය ඔබට යහපත් අධ්‍යයන වරම් ලැබේ. ඒරාෂ්ඨක කාලයක් උදා වී ඇති නිසා කම්මැලිකම් ද මතු විය හැකි ය. ඒවා මඟ හරවා කටයුතු කිරීම යහපත් වේ.

ශුභ දින – සිකුරාදා, සෙනසුරාදා
අය :- 02 වැය :- 14

මීන ලග්නය

පංච මහා පුරුෂ යෝගයක් වන ගුරු හංස යෝගය උදා කරන දෙවියන්ටත් දෙවි වූ ගුරුට අයත් මීන ලග්න හිමියන් පිනට දහමට ලැදි, ද්‍රෝහිකම් නොකරන ත්‍යාගවන්ත අය වෙති. හදවතට එකඟව වැඩ කරන, ඉතාමත් ක‍්‍රියාශීලි, සමාව දීමේ ගුණය ඇති කොතරම් හොඳ කළත් හොඳක් නොඅසන, දිවි දෙවෙනි කොට ආදරය කරන, අන් අයගේ මතයට තීරණ වෙනස් කරන, අසරණයන්ට පිහිට වෙන අය වන මොවුන් උත්පත්ති පිහිටීම් අනුව ගෝචරයෙන් ශුභ, අශුභ තත්ත්වයන් වෙනස් විය හැකිය.

ධනය – වසරේ මුල් කාලය තුළ ඔබගේ ධනය වියදම් වීම් බොහෝ දුරට දැකිය හැකිය. එහෙත් පසුව එම තත්ත්වයන් යහපත් කර ගැනීමේ පිහිටීම් ඇති වන්නේ බුද්ධිය මෙහෙයවන කටයුතු කිරීමෙන් ය. නමුත් බොහෝ වියදම්, ණය වීම්වලට ද හේතු පෙන්වන්නේ කුජ රාහු දෙවැන්නේ සිටීමත් වියදම් අධික කරන බැවිනි. ලැබෙනවාට වඩා වියදම් වැඩි වේ.

රැකි රක්ෂා – වසරේ මුල් කාලය රැකියාවලින් එතරම් ශුභ තත්ත්වයන් පෙනෙන්නට නැත. විදෙස් රැකියාවලට නම් තරමක් යහපත් වේ. වසරේ මැද භාගය සහ අවසාන කාලයේ රැකියා දියුණුවක් ඇති වේ. උසස් තත්ත්වයන් ගොඩ නඟා ගැනීමට හැකියාව ඇත. එම තත්ත්වයන් උදාවන්නේ ඔබගේ උත්සාහය හා කැපකිරීම මතය.

ගෘහ ජීවිතය – ගෘහ ජීවිතයේ තදබල අශූභ තත්ත්වයන් නොවුණත් මිතුරන් සමඟ අමනාපකම් කපටිකම්වලින් පාඩු සිදුවීම්, විවාහ ජීවිතයේ මතභේද තත්ත්වයන් පෙන්නුම් කරන අතර මුල් කාලයේ දී පියාට එතරම් ශුභ ඵල ද නොපෙන්වයි. වසර අවසාන භාගය තරමක් ශුභව පිහිටීම් ඇති බව ද පෙනේ. පවුලේ අසමඟිකම්, මිල මුදල් ගැටලූ වැනි තත්ත්වයන්ගෙන් ඇතිවන ප‍්‍රශ්න දුර දිග යා හැකි බැවින් බුද්ධියෙන් කටයුතු කළ යුතුය.

සෞඛ්‍ය තත්ත්වය – ශරීර සෞඛ්‍යයට එතරම් ශුභ වර්ෂයක් නොවනු ඇත. කකුලේ වේදනා, දත් අමාරු, ගුද මාර්ගය ආශ‍්‍රිත ලෙඩ රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. උගුර පෙනහලූ ආශ‍්‍රිත සැත්කම් හෝ අසනීප තත්ත්වයන්, මස්පිඬු වේදනා වැනි රෝග තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩ ද පවතී.

අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවලට තදබල අපල තත්ත්වයන් නැති මුත් බාධක මැද අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට සිදුවේ. එහෙත් වසරේ මැද භාගයෙන් පසුව ඔබගේ බුද්ධිය අවධි කර කටයුතු කරන නිසා හොඳ අධ්‍යාපන වරම් ලැබීමේ භාග්‍ය ඇත. එහෙත් දැඩි කැපවීමත් තිබිය යුතු වේ. අලූත් මාර්ගවලින් අධ්‍යාපනයට යොමු වීම ද දැකිය හැකි වේ.

ශුභ දින – අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා
අය :- 08 වැය :- 11

උදාවූ 2022 වසර ඔබට කොහොමද?

ආචාර්ය එම්.ඒ. හරිස්චන්ද්‍ර කුමාර
ජ්‍යොතිෂ්‍ය හා වාස්තු විද්‍යා පිළිබඳ බාහිර කථිකාචාර්ය,
SLFI‍ ජ්‍යෝතීර් විද්‍යාර්ථින්ගේ සංගමයේ ප‍්‍රධාන උපදේශක,
දු.අංකය – 071-5463982