නැන්දම්මා බෑණාට හොරෙන් දුව මහණ කරවලා

 

වසරකට අධික කාලයක් තිස්සේ අඹු සැමි ඇසුරේ සිටි බිරියක රැගෙන ගිය ඇයගේ මව විවාහක සැමියාගේ අවසරයකින් තොරව හෝරා කිහිපයක් තුළ පැවිදි කරවීමේ පුවතක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි.   පෙම්වතුන් ලෙසට හඳුනා ගත් ඔවුන් දෙදෙනා තනි අභිමතයකට අනුව නීත්‍යානුකූලව විවාහ වී ඇත්තේ ගිය වසරේ අගෝස්තු මාසයේදී බවත් ඔහුගේ දැන් වයස අවුරුදු 29 ක් සහ ඇය 22 වැනි වියේ පසුවන බවත් පොලිසිය සඳහන් කළේය.  විවාහ වූ දෙදෙනා ඔහුට කියා ඉදිකරගත් නිවහනක වාසය කරන අතරවාරයේ එම නිවසට බිරියගේ මව යාමට ඒමට කටයුතු කර ඇති අතර නැන්දම්මා පවසන අයුරින් කටයුතු කිරීමට බෑනා ඊට අවනත නොවීම නිසා ඇය ඔහු කෙරෙහි දැඩි කලකිරීමකින් යුතුව පසුවී ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.

මෙම තත්වය හමුවේ සිත් වේදනාවෙන් පසු වූ ඇය බෑනා නිවෙසේ නොමැති අවස්ථාවක දියණිය එම නිවෙසින් රැගෙන ගොස් ඒ සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය  කියයි. ඇය කර තිබූ පැමිණිල්ලට අනුව ඇයත් තම දියණියත්, බෑනාත් ඉකුත් 24 වැනිදා කැඳවා පැමිණිල්ල විභාග කර සිද්ධිය සමථයකට පත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි. එසේ වුවත් ඉකුත් දිනක දියණිය රැගෙන ගිය අම්මා එදින 24 වැනිදා රාත්‍රියේදීම විවාහක සැමියාගේ අවසරයකින් තොරව ඇය මෙහෙණි ආරාමයකට ඇතුළත් කර ඒ මොහොතේදීම පැවිදි කර තිබේ.   ඇය මෙහෙණියක වූ බව පවසා ඇයගේ නීත්‍යනුකූල සැමියා විවාහක බිරිය ඉල්ලා දැඩි සංවේගයකින් යුතුව පොලිසියට පැමිණ 25 වැනිදා දිනයේ දී යළි පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි.
ඔහුගේ පැමිණිල්ල එදිනම විභාග කරන්නට ගිය අවස්ථාවේදී ගිහි ජීවිතයේ සිටි සැමියා මෙහෙණි ආරාමයට ඇවිත් තමාට බැණ වැදුණු බවට පැවිදි දිවියේ පසුවන නවක මෙහෙණිය එම සැමියාට එරෙහිව ද එතැන දී පැමිණිල්ලක් කළ බවද පොලිසිය පවසයි.  ලැබී තිබෙන පැමිණිලි සම්බන්ධව සිද්ධියට අදාළ සියලු පාර්ශ්වකරුවන් ඊයේ (26වැනිදා) සවස් යාමයේ දී කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් පැවිදි සිල් මාතාව නොපැමිණි නිසා පරික්ෂණ කටයුතු කල් තැබීමට සිදු වූ බව පොලිසිය පැවසීය.

මෙම පැවිදි කිරීම සම්බන්ධයෙන් හිරියාල හත්පත්තුවේ අධිකරණ සංඝනායක ගණේගොඩ රතනජෝති හිමි මෙසේ පැවැසූහ.

මෙහි අනවසරයෙන් පන්සලක් ඉදිකරන්නට යන බව දැනගත් වහාම එය තහනම් කරන්නට සංඝ සභාව තීරණය කළා. එවැනි තහනම් කළ ස්ථානයක තමයි මේ එක් දිනක් තුළ විවාහක කතක් සැමියාගේ අවසරයක් නැතිව මෙලෙස මහණ කරලා තිබෙන්නේ, මව් පිය අවසරයක් නැතිව දරුවන් මහණ කරන්නට බැහැ සේම, යම් අපරාධකාරයෙක්, ණයකාරයෙක් ඒවා නිදහස් නොකර මහණ කරන්නත්, විවාහකයකු දික්කසාදය ලැබෙන තෙක් මහණ කරන්නත් අවසරය නැහැ. එවැනි තත්වයක නීති විරෝධී ලෙස තහනම් කළ ස්ථානයක සිදුකර තිබෙන මෙම මහණකම සම්බන්ධව දැන ගන්නට ලැබුණා. ඒක සත්‍යයක්. නීති විරෝධී මෙවැනි සිද්ධි උත්තරිතර සංඝ සභාව පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

සිසිර කැලේගම