ඡන්දය භාවිතා කළාට මේවා දැනන් ඉදියෙ නෑ නේද ; කියවලාම බලන්න

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ඔස්සේ 1931 දී, එතෙක් කලක් පැවති සීමිත ඡන්ද බලය වෙනුවට ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වෙනවා (මේ ඔස්සේ වයස අවුරුදු 21කට වැඩි සියලු ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය හිමි වෙනවා). 1959 වසරේ බණ්ඩාරනායක ආණ්ඩු සමයේ දී ඡන්ද අයිතිය, වයස අවුරුදු 18ට වැඩි සියලු ලාංකිකයන්ට හිමි වන ලෙස සංශෝදනය වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙකු ලෙස ඡන්ද බලය, ජනතා පරමාධිපත්‍යය බලයේ කොටසක් ලෙස හඳුන්වනු ලැබුවත් එය භාවිතා කිරීම අනිවාර්ය වන්නේ නෑ. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් එදිනට ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ද පෙළඹෙනවා.

වසර 37ක ජනාධිපතිවරණ ඉතිහාසයේ දෙස බැලීමේ දී ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පෙරට වඩා වර්ධනය වී ඇති ආකාරයක් පෙන්නුම් කරනවා. 1988 ජනාධිපතිවරණයේ දී ඡන්ද ප්‍රකාශ කිරීම ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 55.32% වූ අතර (ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල මේ සමයේ පැවතීම එයට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකි යි), 2015 පැවති අවසන් ජනාධිපතිවරණයේ දී එය 85%ක් ලෙස සටහන් වෙනවා.

එසේම අපේක්ෂකයන් 35 දෙනෙක් ඉදිරිපත්වෙන මෙම ජනාධිපතිවරණය සඳහා රජය විසින් අධික මුදලක් වියදම් කරනවා.

වර්තමානයේ දී ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දේශපාලන ක්‍රියාදාමයට සහභාගී වීමට ප්‍රතික්ෂේප කිරීම දකින්න ලැබෙනවා. ඒ ඇයි?

දේශපාලනය කෙරෙහි කලකිරීම වර්තමානයේ ලෝකයේම පවතින ප්‍රවණතාවක්,” අපට එසේ කියන්නේ කොළඹ විශ්විද්‍යාලයේ  මහාචාර්යයවරයෙකු මෙන්ම ප්‍රවීන දේශපාලන විචාරකයෙකු ද වන ජයදේව උයන්ගොඩ යි. වෙනත් දකුණු ආසියාතික රටවල මෙන්ම බටහිර රටවල ද මේ ලක්ෂණය දකින්න පුළුවන්.

කොහොම නමුත්, අනෙකුත් දකුණු ආසියානු රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන සහභාගීත්වය ඉහළ අගයක් ගන්නවා. දූෂණය, බොරු පොරොන්දු හා බලය අවභාවිතා කිරීම වැනි හේතු නිසා රජය කෙරෙහි දැඩි කලකිරීමක් ඇති වුණත්, ජනතාව තවමත් ක්‍රියාකාරීව දේශපාලනයට සහභාගී වෙනවා. එසේ පවසන්නේ මහාචාර්ය උයන්ගොඩ යි.

දේශපාලන සහභාගීත්වය යනු හුදෙක් මැතිවරණවලට ඡන්දය දීම පමණක් නොවේ. දේශපාලන පක්ෂවලට සම්බන්ධ වීම, විවාදවල යෙදීම හා සමාජ මාධ්‍යවල තම තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීම ද මෙයට ඇතුළත්.

ශ්‍රී ලාංකිකයන්ගේ දේශපාලන සහභාගීත්වය වැඩි වීම කෙරෙහි සර්ව ජන ඡන්ද බලය ලබා දී දීර්ඝ කාලයක් ගත වී තිබීම, දීර්ඝ කාලයක් පුරාවට පවතින පක්ෂ කිහිපය, හා රටේ භූමි ප්‍රමාණය කුඩා අගයක් ගැනීම යන කරුණු තුන බලපා ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

දේශපාලන ආර්ථික විද්‍යාඥයෙකු වන අහිලාන් කදිරගාමර් පවසන්නේ ලංකාවේ ඇති දුර්වල ප්‍රජා සංවිධාන හා ආයතන මිනිසුන්ගේ දේශපාලන සහභාගීත්වය අඩු කිරීමට වගකිව යුතු බව යි.

ලංකාවේ ගම්බද ප්‍රදේශවල සමිති හා සමාගම් නමින් විවිධ සංවිධානයන් දක්නට ලැබෙන අතර ඒවා දේශපාලන සහභාගීත්වය සඳහා ද යොදා ගැනීමට හැකියාව පවතිනවා. නාගරික ප්‍රදේශවල මෙම තත්ත්වය මඳක් වෙනස් වන අතර ඔවුන් ප්‍රජා සංවිධාන සමග ගැටීමක් දකින්න ලැබෙන්නේ නෑ. ඔවුන් දේශපාලන ප්‍රවාහය සඳහා එකතු නොවීමට, එය ද ප්‍රධාන හේතුවක් ලෙස බලපානවා.

තමාගේ තනි ඡන්දය මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට බල නොපාන බව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකෙන අයගේ මතය යි. නමුත් ඡන්දය මඟින් පත්කරන නියෝජිතයන් මත අපේ එදිනෙදා කාර්යයන් සියල්ලම තීරණය වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය හා ප්‍රවාහනය වැනි සියලුම ක්ෂේත්‍රයන් සඳහා තීන්දු තීරණ ලබා දෙන්නේ ඔබේ අයිතිය භාවිතා කිරීමෙන් තේරී පත්වෙන නියෝජිතයන් හරහා යි. එබැවින් මෙය තමන් වෙනුවෙන් නියෝජිතයන් පත්කිරීමේ අයිතිය ඉවත දැමීමක් ලෙස හඳුන්වා දිය හැකි යි.

ඡන්දය ලබා දෙන ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීමෙන් තේරී පත්වෙන නියෝජිතයාගේ ගුණාත්මක භාවය පිළිබඳව ද අදහසක් ලබා ගත හැකි අතර ලියා පදිංචි ඡන්ද දායකයන්ගෙන් වැඩි දෙනෙක් ඡන්දය සඳහා සහභාගී වීමෙන් මැතිවරණයේ නිත්‍යානුකූල බව ද ඉහළ යනවා.

අනිවාර්ය ඡන්ද ක්‍රමයක් ඇති බෙල්ජියම, ඡන්දය භාවිතා නොකරන්නන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයන් ගන්නා රටක් ලෙස හැඳින්විය හැකි යි. එහි ඡන්දය ප්‍රකාශ නොකරන්නන්ගෙන් දඩ මුදලක් අය කිරීම සිදු කරනවා. එය අඛණ්ඩව සිදු වේ නම් ප්‍රජා අයිතිය වසර කිහිපයකට අහෝසි කර දැමීමට ද එම රජය කටයුතු කරනවා. ඕස්ට්‍රේලියාවේ ද ඡන්දය ලබා නොදීම සම්බන්ධයෙන් දඩ මුදලක් ක්‍රියාත්මක වෙනවා.

හිටපු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් 2017 දී එවැනි දඩයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති නමුත් එවැනි දෙයක් ක්‍රියාත්මක නොවන බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීම ඉහළ නැංවීමට වෙනත් ක්‍රම භාවිතා කිරීමට සිදුව තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය වැඩි කිරීම සඳහා මැජික් ක්‍රමයක් නොමැති වුවත් ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ගයන් ගත හැකියි.

ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ දීර්ඝ ක්‍රියා පිළිවෙල වෙනස් කරමින් ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයේ දීම ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 5 % – 7% කින් ඉහළ නැංවිය හැකි බව අධ්‍යයනවලින් සනාථ වී තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමේ ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීම හා ඡන්දයදායකයන් රැදී සිටින පෝලිම්වල දිග අඩු කිරීම සදහා ද ප්‍රයෝගික ක්‍රියාමාර්ග ගැනීම මඟින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහළ නංවා ගත හැකියි.

රජය මැදිහත්වීම තුළින් මැතිවරණ සමයේ දී ප්‍රජා සංවිධාන (විවිධ ග්‍රාමීය සමිති හා සංගම්) හා සාමාජිකයන් අතර ශක්තිමත් සම්බන්ධතාවයක් නිර්මාණය කිරීම මඟින් ඔවුන්ට ඡන්දයේ වටිනාකම පැහැඳිලි කළ දිය හැකි යි. එසේ කිරීමෙන් ද ප්‍රකාශ වෙන ඡන්ද ප්‍රමාණය වර්ධනය කළ හැකි යි.