පැරදීලා පළා ගියේ නැති කතාව ඉම්රාන් ඛාන් ලංකාවේ අයියලාට කියා දෙයි

පරාජයේ මානසිකත්වයෙන් ඉවත්ව ජයග‍්‍රහණයට යා යුත්තේ මහත් කැපවීමකින් සහ ජයග‍්‍රාහී මානසිකත්වයක් රදවාගෙන බව වත්මන් පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් පවසයි. ඔහු මේ බව පවසා සිටියේ කොළඹදී මැති ඇමැතිවරුන් සහ හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ඉදිරියේ දේශනයක් කරමිනි.
කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේ පැවැති මෙම සුහද හමුවට රජයේ මැති ඇමැතිවරුන් වන නාමල් රාජපක්ෂ කිහිප දෙනෙක් සහභාගි වූ අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, චමින්ද වාස්, සිදත් වෙත්තමුණි, සනත් ජයසූරිය, හෂාන් තිලකරත්න ඇතුළු පිරිසක්ද සහභාගි විය.
සිය දේශපාලනය සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් එහිදී මෙසේ පැවසීය. ‘‘මම අලූතින් දේශපාලන පක්ෂයක් පිහිටුවලා වසර 14 ක දුෂ්කර ගමනකින් තමයි රටේ නායකත්වයට එන්නෙ. ක‍්‍රිකට් ක‍්‍රීඩාව අපට විශ්ව විද්‍යාලයකදී ඉගෙන ගත නොහැකි බොහෝ දේ කියලා දුන්නා. අප ක‍්‍රීඩාවේදී තරගකාරීත්වයට මුහුණ දී ලබන පන්නරය ජීවිතයේ සෑම අරගලයක් සඳහාම හොඳ පන්නරයක් දෙනවා. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ අද බොහෝ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා ජීවිතය අවසන් වුණාම තමන්ට සුව පහසු ජීවිත තුළ කාලය කා දමනවා. ඔවුන් එතැනින් පසුව තවත් තරගකාරී අභියෝගයකට අත තියන්නේ කලාතුරකින්. ඔවුන් ක‍්‍රිකට් ජීවිතය තුළ ලද සියලූ අත්දැකීම් සහ තරගකාරීත්වය එතැනින් ඵලක් නැතිව යනවා.’’
මගේ ක‍්‍රිකට් ජීවිතය වගේම දේශපාලන ජීවිතය ජය ගැනීමත් විශාල අභියෝගයක්. මම කිසි විටෙක පරාජය භාර ගන්න කැමැති වුණේ නැහැ. මගේ පළමු ටෙස්ට් තරගය වගේම මගේ පළමු දේශපාලන ඡුන්දයෙනුත් අසාර්ථක වුණා. මට කිසිම ආසනයක් ලැබුණේ නැහැ. සියලූ දේ සෝදාපාළු වුණා. එය මගේ දේශපාලන මරණය බවට වාර්තා පළ වුණා. මෙහෙම පැරදුණු මම වසර 14 කට පසුව රටේ නායකයා වුණා.’’ යැයි ඉම්රාන් ඛාන් හැමටම ආදර්ශයක් දෙමින් කියා සිටියේය.
‘එදා මම දේශපාලනයේ විහිළු සපයන්නෙක් බවට ඇතමුන් හැදින් වූවා. එවකට රටේ තිබුණු කිසිම ප‍්‍රධාන පක්ෂයක සාමාජිකයකු මගේ පක්ෂයට එකතු වුණේ නැහැ. මට අලූතින්ම නැගිටින්න අලූත් කණ්ඩායමක් හදා ගන්න සිදු වුණා. මම අවුරුදු 14 ම ගමන් කළේ තනිවම. ක‍්‍රිකට් වලින් මා ඉගෙන ගත් පාඩම නිසා තමයි එහෙම වුණේ.’’ යැයි ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.