ඔස්ට්‍රේලියාවේ බස් එලවන ලංකාවේ ක්‍රිකට් හපන්නු…

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් යනු කෝටිපතියන් යැයි සමාජයේ ප‍්‍රසිද්ධ රහසකි. මෙසේ කෝටිපතියන් වන්නේ ජාතික කණ්ඩායම කී‍්‍රඩා කරන ක‍්‍රීඩකයන් පමණක් නොව පළමු පෙළ ලේබලය ගසා පිටරට ක‍්‍රිකට් කෙළියට යන ක‍්‍රීඩකයන්ද එසේ කෝටිපතියන් වේ. නමුත් මේ කතාව ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ පෙරළිකාර තුන් කට්ටුවක් දැන් ඔස්ටේ‍්‍රලියාවේ බස් රියදුරන් වශයෙන් සේවය කිරීමය.
ලොව පළමු වරට ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් බස් රියදුරන් බවට පත්වීම ඇතැම් විට ඛේදජනක සිදුවීමකි. නමුත් නම්බුකාර ලෙස ක‍්‍රිකට් ගසා කණ්ඩායමේ තැනක් නොමැති කළ කෙසේ හෝ ජීවන ගමන යන්නට දැන් ඔවුන් වෙනත් වෘත්තියක නියැලී සිටිති. සුරාජ් රන්දිව් යනු මෙරට ජාතික කණ්ඩායමේ සිටි ප‍්‍රබල තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකි. චින්තක ජයසිංහද පළමු පෙළ ක‍්‍රිකට් පිටියේ පතාක යෝධයෙකි. ඔහු ජාතික කණ්ඩායමද නියෝජනය කළේය. ඔවුන් දෙදෙනාට අමතරව සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළ වෙඩින්ටන් මුවෙන්ගාද බස් රියදුරකු බවට පත්විය.
සුරාජ් රන්දිව් යනු මේ වන විට 36 වැනි පසුවන යෞවනයෙකි. ඔහුට තවමත් ක‍්‍රිකට් ගාය තිබේ. නමුත් ජාතික කණ්ඩායමෙන් විසි වු පසු මෙරට දේශීය ක‍්‍රිකට් පැලැන්තිය ඔස්සේ ඔහුගේ හැකියාවට සරිලන වැටුපක් නොලැබීමෙන් රන්දිව් අද බස්රියදුරකු බවට පත්විය. ඔහුට ලංකාවේ ඒ දේ කළ හැක. නමුත් කෝටි ගණන් වැටුප් ලැබූ රන්දිව්ට මෙරටදී ඒ වැටුප් ලැබීමට හැකි වෘත්තියක් නොවීය. ක‍්‍රිකට් වලටද සමුදී ඔහු ඔස්ටේ‍්‍රලියාවට ගියේ ඒ නිසාය.
දැන් ඔස්ටේ‍්‍රලියාවේ දෙවැනි පෙළ හෝ තෙවැනි පෙළ ක‍්‍රිකට් ගසමින් බස් රියදුරකු වශයෙන් රන්දිව් කටයුතු කරයි. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12 කදී කඩුලූ 43 ක් බිද දමා ඇති රන්දිව් එක්දින තරග 31 කදී බිද දමා ඇති කඩුලූ සංඛ්‍යාව 36 කි. ඔහුවිස්සයි විස්ස තරග 7ක් නියොජනය කරමින් කඩුලූ 7ක් බිද දමා තිබේ.
පළමු පෙළ තරග 149 කදී අර්ධ ශතක 13 ක් සහ ශතක 4 ක් ලබා ඇති රන්දිව් බිද දමා ඇති කඩුලූ සංඛාව 681 කි. මෙම ලියුම් කරුට මීට වසර කිහිපයකට පෙර මාතර විවාහ මංගල උත්සවයකදී රන්දිව් හමුවිය. මිතුරන් සමග කොණක තිබු මේසයක වාඩි වී සිටි රන්දිව්ව මට හඳුනා ගැනීමට නොහැකි විය. පසුව ඔහුගේ මිතුරකු අයියා සුරාජ් රන්දිව් ඉන්නවා ඔයා එයාව දන්නවා ඇති කියා ඔහු සිටන තැනට කැඳවාගෙන ගියේය.
‘‘හලෝ අයියේ…කොහොමද…. යැයි නිරහංකාරව කතාවට වැටුණු රන්දිව්ගේ ම විමසා සිටියේ මල්ලි මොකද දැන් කරන්නේ කියාය. ‘‘මොනව කරන්නද අයියේ මම මගේ පැත්තෙන් උපරිම කරනවා. නමුත් අවස්ථාවක් නැහැ. අවස්ථාව නොලැබුණොත් මොකක් හරි කරන්න වෙයි අයියේ..’’ යැයි පැවසු රන්දිව් අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2016 වසරේදීය. දැන් ඔහු ඔස්ටේ‍්‍රලියාවේ මගීන්ගේ වීරයෙකි. 2011 වසරේ පැවැති ක‍්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ක‍්‍රීඩකයකු බස් රියදුරකු විය. එය ඇතැම් විට නම්බුකාරය. වෘත්තිය යනු යැපීමක් වෙනුවෙන් කරන කැපවීමකි. ක‍්‍රිකට් වෘත්තියේදී ඔහුට කැපිලි පැමිණි විට වෙනත් වෘත්තියක් ඔස්සේ යෑමට තරම් ඔහු නිහතමානී විය.
චින්තක ජයසිංහද රන්දිව් මෙන් සුපිරි දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයෙකි. ඔහු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 5 කට ක‍්‍රීඩා කරමින් මුළු ලකුණු 49 ක් ලබා තිබේ. නමුත් ඔහුගේ පළමු පෙළ දක්ෂතා අනුව ඔහුට ලැබුණු ජාත්‍යන්තර තරග ගැන නම් සෑහීමකට පත්විය නොහැක. චින්තක ජයසිංහ මේ වන විට 42 වැනි වියේ පසුවේ. ඔහු පළමු පෙළ තරග 142 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක 34 ක් සමග මුළු ලකුණු 173 ක් ලබා ඇත. එහිදි බිද දමා ඇති කඩුලූ සංඛ්‍යාව 104 කි. චින්තක ජයසිංහ දැන් වසර ගණනාවක සිට ඔස්ටේ‍්‍රලියාවේ දෙවැනි පෙළ හෝ තෙවැනි පෙළ ක‍්‍රීඩා කරමින් බස් රියදුරකු වශයෙන් කටයුතු කරයි. රන්දිව්ටද උදව් කර ඇත්තේ චින්තක ජයසිංහය.
ඔස්ටේ‍්‍රලියාවේ මේ වන විට ශ‍්‍රී ලංකාවේ පළමු පෙළ ක‍්‍රිකට් ගැසූ සුපිරි තරු සහ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් සමස්තයක් වශයෙන් 175 කට අධික සංඛ්‍යාවක් සිටින බව ඔස්ටේ‍්‍රලියාවෙන් වාර්තා වේ. එවැනි වටපිටාවක ශ‍්‍රී ලංකාවේ පළමු පෙළ ක‍්‍රිකට් ගසන්නේ ළදරුවන් නොවේද යන ප‍්‍රශ්නයක් පැන නගිමින් තිබේ. එහි අතුරු ඵලය වන්නේ ජා්‍යන්තරයේ පරාජයන්වලට ලක්ව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නන්නත්තාර වීමය.
කෙසේ වෙතත් තරග පාවා නොදී, ක‍්‍රිකට් වෘත්තියෙන් තැනක් නැතිනම් අපි ජීවත් වෙන්නට ඕනම දෙයකට සූදානම් බව රන්දිව්ලා පෙන්වා ඇත. ඔවුන්ගේ ආදර්ශය සියලූ වෘත්තිකයන්ට ජවයකි. තමාගේ වෘත්තියෙන් කැපිලි, කෙටිලි එන්නේ නම් එයින් තමාට සුගතියක් නොවන්නේ නම් වෙනත් අතක් බලා යෑමේ ශිල්පය ප‍්‍රගුණ කරන හැටි ලොවටම පෙන්වීමට මේ ජාත්‍යන්තර හපනුන්නු තුන් කට්ටුව දැන් සමත්ව තිබේ.

අවි