ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණයක්

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක නව ණයක‍් (LOC) පිරිනැමූ බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර සිටී.
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත යවන ලද ලිපියක් මගින් මෙම සහයෝගය ලබා දීම තහවුරු කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 2022 ජනවාරි 15 ​​වැනි දින අන්තර් ජාලය ඔස්සේ සවිස්තරාත්මක හමුවක් පවත්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයේ කැපී පෙනෙන වර්ධනයක් ලෙස විවිධ අංශ පිළිබඳව සාකච්ඡා කළේය.
පසුගියදා ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900කට අධික විදේශ විනිමය ආධාරයක්ද ලබාදී තිබුණා. මෙම පියවර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීමටත්, ද්විපාර්ශ්වික ආර්ථික සහ වාණිජ හවුල්කාරිත්වයට වැඩි ශක්තියක් ලබා දීමටත් ඉන්දියාව දක්වන කැපවීමට අනුකූලව වන බවද පැවැසේ.