ග්‍රැහැම් ෆෝඩ්ගේ ඉල්ලා අස්වීමේ කුරුමානම ශ්‍රී ලංකා ක්‍රිකට්ද?

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වී තිබේ. ඒ අයර්ලන්තයට ඇමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතව පවතින පසුබිමකයි. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකාරිත්වය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව පුරප්පාඩු වීමට නියමිත අතර, ග්‍රැහැම් ෆෝඩ්ගේ ඉල්ලා අස්වීමේ කුරුමානම ශ්‍රී ලංකා ක්‍රිකට් යළි භාර ගැනීමටද යන්න කුකුසක් මතු කර තිබේ.

ග්‍රැහැම් ෆෝඩ් මීට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණි.

ෆෝඩ්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අයර්ලන්ත ක්‍රිකට් උසස් දක්ෂතා අධ්‍යක්ෂ රිචඩ් හොල්ඩ්ස්වර්ත් පවසා සිටියේ ඔහු තම පවුලේ සාමාජිකයන් සමග වැඩිපුර කාලයක් ගත කිරීමට, ඔහුගේ ශාරීරික යෝග්‍යතාව සහ මානසික යෝග්‍යතාව පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීන්දුව ගෙන ඇති බවයි. කෙසේ වෙතත් ෆෝඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරිත්වයද මීට පෙර හැර ගියේ මේ ආකාරයෙන් තම පවුලේ සාමාජිකයන් සමග වැඩිපුර කාලයක් ගත කිරීමට අවශ්‍ය බව පවසමිනි.

මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුනුකාරිත්වය සම්බන්ධයෙන් මෙරට පුහුණුකරුවන් සිව්දෙනෙකු සම්බන්ධයෙන්ද සලකා බලමින් සිටින බව වාර්තා විය.