ලංකාවේ සීඝ්‍රතම ණය ගැනීම සිදුකර ඇත්තේ මෙම ආණ්ඩුව – කබ්රාල්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයක් යටතේ රුපියල ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට පියවර ගන්නා බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඊයේ(11) මහනුවර පැවති වියත්මඟ අවසන් මහජන හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, බදු අඩු කර රුපියල ස්ථාවර කරන බවයි.

රුපියල පසුගිය දා ආණ්ඩුව බාර දෙන විට තිබුණේ 130 ට බවත් පැවසු ඒ මහතා, දැන් වන විට එය 180 දක්වා ඉහළ ගොස් ඇතැයි පැවසීය.

ඒ අනුව සෑම ඩොලරයකටම රුපියල් 50ක් වැඩිපුර අප ගෙවා දමන බවත් කියා සිටි ඒ මහතා, පසුගිය දා අගමැතිවරයා බිලියන 5ක් ණය ගෙවීමට ඇති බව පැවසු බවත් කියා සිටියේය.

ඒ බිලියන 5න් 4ක්ම අරගෙන තිබුණේ ඔහු වන බවත් පැවසු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, එම ණය ගෙවා දැමීමට නම් මුදල් පාර්ලිමේන්තුවෙන් වෙන් කළ යුතු බවත් පැවසීය.

එනිසා ඔවුන්ට මේ වන විට සෑම ඩොලරයකටම රුපියල් 50ක් බැගින් වෙන් කිරීමට සිදුවන බවත් කියා සිටි ඒ  මහතා, එවිට බිලියන 250 ක් වෙන් කළ යුතු බවත් සඳහන් කළේය.

හම්බන්තොට වරායන් දෙකක් සෑදිය හැකි තරම් මුදලක් මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුවෙන් වෙන් කිරිමට සිදුවන බවත් කියා සිටියේය.

ඒ මුදල ලබා ගැනීමට සිදුවන්නේ ජනතාවගෙන් බවත් පැවසු ඒ මහතා, අද වන විට ණය ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 91ට වැඩි වී ඇතැයි ද පැවසීය.

අපි බාර දුන්නේ 71 න් බවද කියා සිටි ඒ මහතා, ලංකාවේ සීඝ්‍රතම ණය ගැනීම සිදුකර ඇත්තේ මෙම ආණ්ඩුව බවද සඳහන් කළේය.