එල්.පී.එල්. තරගාවලියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවේ

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කෝවිඞ් 19 වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නියමිත පරිදි සෞඛ්‍ය උපදෙස් පරිදි, මෙම මසදී ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආශිර්වාදය ඊයේ (04 දා) හිමිව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයන්, සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් අමල් එදිරිසූරිය ඇතුළු නිළධාරීන් අතර ඊයේ පැවැති සාකච්ඡාවකින් පසුව එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට අවසරය හිමි විය. ඒ අනුව තරගාවලිය මෙම මස 21 වැනිදා ආරම්භ කිරීමට නොහැකි වුවද සතියක් හෝ දින කිහිපයක් ප්‍රමාද කරමින් තරගාවලිය පැවැත්වීමට අයි.පී.ජී. ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමග පැවැති සාකච්ඡා සාර්ථක වූ බවත් තරගාවලිය පැවැත්වීමට හැකි සහය සියලු දෙනාගෙන්ම ලැබුණු බවත් එල්.පී.එල්. අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා විමසීමකදී පැවසීය. “සාකච්ඡාව ඉතාමත් සාර්ථකයි. සියලු දෙනාගේම මතය වුණේ කොහොම හරි මේ තරගාවලිය තියන්න අවශ්‍යයි කියන එක. ඒ අනුව අද වන විට තරගාවලිය පැවැත්විය යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් නීති රෙගුලාසි සෞඛ්‍ය අංශ විසින් අපිට ලබාදෙයි. කොහොම වුණත් නියමිත දිනට තරගාවලිය පැවැත්වීමට බැරි වුණත් ඊට සතියක් හෝ ප්‍රමාද කරලා තරගාවලිය පවත්වන්න අපි දැන් සූදානම්.”
රට තුළ උද්ගතවී ඇති කොරෝනා වසංගතය හමුවේ ක්‍රීඩකයන්, නිළධාරීන් සහ තරගාවලිය විකාශනය කරන සමාගමේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය නිරෝධාන ක්‍රම වෙන වෙනම ලබාදීමට නියමිතව තිබේ. “අපිට තරගාවලිය යොදාගත් පරිදි ලබන 21 වැනිදා පවත්වන්න බැරි විකාශනය කරන කාර්ය මණ්ඩලය දින 14 ක් නිරෝධානය කරන්න වෙන නිසා. නැතිනම් නියමිත දිනට ආරම්භ කරන්න පුළුවන් වෙනවා. කොහොමත් මේ මාසය අවසන් වෙන්න කලින් තරගාවලිය පවත්වනවා.” යැයි රවීන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයන් දින 14 ක නිරෝධානයකට යටත් වීමට අකමැත්ත පළකර ඇති අතර ඒ සම්බන්ධවද ඊයේ පැවැති සාකච්ඡාවේදී මාර්තෘකාවට බඳුන්ව තිබේ. ඒ අනූව ක්‍රීඩකයන් දින හතක නිරෝධානයකට යටත්ව තරගාවලියට සහභාගි වනු ඇත. මීට අමතරව මහනුවර පල්ලකැලේ පැවැත්වීමට නියමිතව තිබූ තරග සියල්ලද සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ලෝකයේ මෙතෙක් පැවැත්වෙන සියලුම ක්‍රිකට් තරගවලදී ක්‍රීඩකයන් නිරෝධානය වන්නේ දින හතකි. ඒ අනූව දින 14 ක නිරෝධානයකට යටත්ව තරගාවලියට සහභාගි විය නොහැකි බව මහනුවර කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ක්‍රිස් ගේල්ද පවසා තිබුණි. ඒ අනූව අයි.පී.එල්. ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එල්.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ඔවුන් එම තරගාවලියද ජෛව ආරක්ෂික බුබුලක සිටිමින් ක්‍රීඩා කරනු ලබයි.
එල්.පී.එල්. තරගාවලිය ආරම්භ කරන ස්ථිර දිනය සහ තරග කාල සටහන ඉදිරි දින කිහිපයේදී යළිත් සකස් කිරීමට නියමිත අතර විදෙස් ක්‍රීඩකයන්ගේ පැමිණීම සහ දේශීය ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතුද ඉදිරියේදී සැලසුම් කිරීමට නියමිතව ඇත.