ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව යාපනයට ගෙනයයි

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් ශූරතාවේ පළමු හිමිකරුවන් බවට පත්වන්නට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (16 වැනිදා) රාත්‍රියේදී සමත් විය. ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී භානුක රාජපක්ෂගේ නයකත්වයෙන් යුත් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමිනි.
යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම ලබා දුන් ලකුණු 189ක ඉලක්කය හඹා ගිය ගාල්ල කණ්ඩායමේ පළමු කඩුලු 3ම මුලු ලකුණු 7ක් තුළදී බිඳ වැටුණි. ඒ අනුව තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ ගාල්ලේ ප්‍රභලම බලාපොරොත්තුව බවට පත්ව තිබූ ධනුෂ්ක ගුණතිලක ඊයේ එක් ලකුණක් පමණක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුව දැවී ගිය අතර හසරතුල්ලා සසෙයි ලකුණු නොලබා සහ ඒෂාන් අලි ලකුණු 6කට නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට යාපනය පන්දු යවන්නෝ සමත් වූහ.
භානුක රාජපක්ෂ මැද පෙළ ශක්තිමත් කරමින් පන්දු 17ක් තුළදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 40ක් ලබා ගනිමින් ගාල්ල ඉනිමට යම් ජීවයක් ගෙන ආවද ෂොයිබ් මලික්ගේ පන්දුවක් හමුවේ භානුකගේ දැවී යෑම මත යළිත් ගාල්ල ඉනිම කඩා වැටිණි.
තීරණාත්මක අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනූ යාපනය නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිතිකරුවන්ට යෝග්‍ය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී යාපනය ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ ජොන්සන් චාර්ල්ස් සිය සුපුරුදු පිති ප්‍රහාරය දියත් කරමින් ගාල්ල පන්දු යවනනෝ තරමක් වෙහෙසට පත් කිරීමට සමුත් වූහ. අනතුරුව ධනංජය ලක්ෂාන් ක්‍රියාත්මක කළ තරගයේ පස්වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ධනුෂ්ක ගුණතිලකගේ සුපරි උඩපන්දු රැකීම හමුවේ ජොන්ස්න් චාර්ල්ස්ගේ ප්‍රවේගකාරී ඉනිමට තිත වැටුණි. පන්දු 15ක් තුළ හතරේ පහර 6ක් සමගින් ලකුණු 26කින් වර්ණවත් වූ චාර්ල්ස්ගේ ඉනිම නිමාවන විටදී අවිශ්ක ප්‍රනාන්දු සමග එක්ව පන්දු 28කදී ලකුණු 44ක් යාපනය ඉනිමට එකතු කිරීමට චාර්ල්ස සමත් වී සිටයේය.
චරිත් අසලංකගේ ඉනිම පන්දු 9කදී ලකුණු 10කට සීමා කිරීමට ලක්ෂාන් සඳකැන් සමත් වෙද්දී යාපනය ඉනිමේ දෙවැනි කඩුල්ල මුලු ලකුණු 66දී බිඳ වැටුණි. එතැන් පටන් තවත් ලකුණු 6ක් පමණක් යාපනය ඉනිමට එකතු වෙද්දී සහන් ආරච්චිගේ විසින් යැවූ පන්දුවකට අවිශ්ක ප්‍රනාන්දු එල්ල කළ පහරක් උඩ පන්දුවක් ලෙසින් ෂෙහාන් ජයසූරිය විසින් රැක ගැනීම හේතුවෙන් අවිශ්කගේ ඉනිම නිමාවට පත්විය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 23කදී හයේ පහර 2ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 27ක් යාපනය ඉනිමට එක් කළේය.
ධනංජය ද සිල්වා ලකුණු 33ක් ලබා සිටියදී ධනංජය ලක්ෂාන් යැවූ පන්දුවක් හමුවේ ෂෙහාන් ජයසූරිය අතට උඩපන්දුවක් ලබා දී දැවී ගිය අතර ඔහු දැවී යන විටදී පන්දු 20කට මුහුණ දී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් එල්ල කර තිබිණි. ධනංජය සමගින් සිව්වැනි කඩුල්ලට ලකුණු 69ක සම්බනධතාවක් ගොඩ නැගීමෙන් අනතුරුව තිසර පෙරේරා සමග එකතු වූ ෂොයිබ් මලික් තවත් ලකුණු 20කින් යාපනය ඉනිම ශක්තිමක් කළේය.
ධනංජය ලක්ෂාන්ගේ පන්දුවක් හමුවේ එල්ල කළ පහරක් හයේ සීමාව ආසන්නයේදී උඩපන්දුවක් ලෙසින් හසරතුල්ලා සසෙයි විසින් රැක ගැනීම හේතුවෙන් ෂොයිබ් මලික්ගේ ඉනිම නිමවට පත්වූ අතර මලික් පන්දු 35කදී එක් එයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය.
සිය සුපුරුදු ප්‍රවේගකාරී ඉනිම දියත් කළ යාපනය නායක තිසර පෙරේරා පන්දු 14කදී නොදැවී ලකුණු 39ක් රැස් කළේය. හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් එම ඉනිමට ඇතුළත් විය.
ලකුණු තත්ත්වය
යාපනය ස්ටැලියන්ස් පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 188යි (අවිශ්ක ප්‍රනාන්දු 27, ජොන්සන් චාර්ල්ස් 26, චරිත් අසලංක 10, ෂොයිබ් මලික් 46 , ධනංජය ද සිලවා 33, තිසර පෙරේරා (නොදැවී) 39, ලක්ෂාන් සඳකැන් 41/1, සහන් ආරච්චිගේ 36/1, ධනංජය ලක්ෂාන් 36/3, මොහොමඞ් අමීර් 36/1)
ගල්ල ග්ලැඩියේටර්ස් පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 135යි. (ධනුෂ්ක ගුණතිලක 01, හස්රතුල්ලා සසෙයි 00, ඒෂාන් අලී 06, භානුක රාජපක්ෂ 40, ෂෙහාන් ජයසූරීය 15, අසාම් ඛාන් 36, ධනංජය ලක්ෂාන් 09, මොහොමඞ් අමීර් 00, ලක්ෂාන් සඳකැන් (නොදැවී) 09, සහන් ආරච්චිගේ 17, ධනංජය ද සිල්වා 31/1, සුරංග ලක්මාල් 12/1, උස්මාන් ෂින්වාරි 20/2, වනිදු හසරංග 18/1)