එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් 05 දින ඇරැ‍ඹෙයි.

 

දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර්
05 දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ඒ අනුව ප්‍රථම තරගය ගාල්ල
සහ යාපනය කණ්ඩායම් අතර එදින රාත්‍රී 07.30 සිට පැවැත්වීමට නියමිතය.

තරග 20 කින් සමන්විත තරගාවලියේ පළමු වටයේ තරග කොළඹ ආර්.ප්‍රේමදාස
ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් වටයේ තරග හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී
පැවැත්වේ.
එල්පීඑල් තරගාවලියේ අවසන් මහා තරගය 2021 දෙසැම්බර් 23 වෙනිදා හම්බන්තොට
සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මෙවර තරඟාවලියේ අවසන් තරගය වෙනුවෙන්
අතිරේක දිනයක් ලෙස දෙසැම්බර් 24දා වෙන්කර ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකාවේ ඉහළම පෙළේ දේශීය ක්‍රිකට් තරගාවලියක් වන
අතර ජාත්‍යන්තර රසාස්වාදයකින් යුක්තව තරග 24 කින් සමන්විත වන මෙම තරගාවලියට
ඉහළ පෙළේ දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ද මේ වන විට සනාථ
කර ඇත.

අවසන් වටයේදී තරග ප්‍රතිඵල අනුව ලකුණු සටහනේ ප්‍රථම කණ්ඩායම් දෙක අවසන් තරගයට
සුදුසුකම් ලැබීමේ පළමු තරගය සඳහා ක්‍රීඩා කරන අතර ඉන් ජයග්‍රහණය කරනු ලබන
කණ්ඩායම කෙළින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. ලකුණු සටහනේ 3 වන සහ
4 වන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකට මුහුණ දිය
යුතු අතර එහිදී ජයගන්නා කණ්ඩායම ඉන් ඉහළට යාම සඳහා පළමු සුදුසුකම් ලැබීමේ
තරගයෙන් පරාජය වූ පිල සමඟ යළිත් තරග කළ යුතුය. ඉන් ජයගන්නා කණ්ඩායම අවසන්
මහා තරගය සඳහා සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම වනු ඇත. තවත් අයුරකින් කිව‍හොත්
පසුගිය එල්පිඑල් තරගාවලියේදී මෙන් නොව මෙවර අවසන් පූර්ව සහ අවසන් මහා තරගයට
කණ්ඩායම් තෝරාගනු ලබන්නේ ඉන්දියන් අයිපීඑල් තරගාවලියට සමරූපී ආකාරයටය.