ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත මහේලට පවරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපති හා හිටපු ක්‍රිකට් නායක
මහේල ජයවර්ධනට බලය පවරා ඇතැයි දැනගන්නට ඇත.
වත්මන් ජාතික ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර්ගේ සේවය ඉදිරියටත් ලබා ගන්නවාද යන්න
පිළිබඳව පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති විධායක කමිටුවේ
සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගන්නා ලද බවද පැවැසේ.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවේදී
පැවැත්වෙන තරගාවලියෙන් පසු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ තවත් පුහුණුකරුවන් කිහිප
දෙනෙකුගේ සේවය නවතා දැමීමට නියමිත බවද විශ්වාස දායක ආරංච් මාර්ග සඳහන් කරයි.
අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශ
වලින් එකක් වූ රොෂාන් මහානාමගේ නමද ජාතික ක්‍රිකට් පුහුණුකරු ධූරය සඳහා යෝජනා
වුවද දැන් ඔහුගේනම තවදුරටත් එම තෝරා ගැනීමේ ඉදිරිපෙළ ලැයිස්තුවේ නොමැතිබව
සඳහන්ය.

මුත්තයියා මුරලිදරන් මහානාම ගැන ඉතා ඉහළ මතයක් ප්‍රකාශ කර තිබුණත් ජාත්‍යන්තර
පුහුණුකරණය පිළිබඳව ඔහු සතුව අත්දැකීම් නොමැතිකම නිසා එම මතය වෙනස් වී ඇතැයිද
එකී වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ජාතික ක්‍රිකට් කණ්ඩාය‍මේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගන්නා ලෙස ක්‍රිකට් බලධාරීන්
විසින් මහේල ජයවර්ධනට යෝජනා කරමින් සිටින නමුත් මහේල දැනටමත් පුහුණුකරුවෙකු
ලෙස ජාත්‍යන්තර මට්ටමෙන් බාරගෙන ගෙන ඇති වගකීම් වෙනුවෙන් කාලය කැපකළ යුතු
නිසා ශ්‍රී ලංකා පුහුණුකරු තනතුර සඳහා වෙනත් විදේශීය පුහුණුකරුවන් කිහිප දෙනෙකු
පිළිබඳව සලකා බැලීමට තීරණය කර ඇත.