මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න අබුඩාබි පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියට 

අබුඩාබි පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු වන දඟපන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ වේගපන්දු ක්‍රීඩක චාමික කරුණාරත්න චෙන්නායි කණ්ඩායම මිලදීගෙන තිබේ. මෙම කණ්ඩායම මෙවර තරගාවලියේ සිට අලුතෙන් එක්වන කණ්ඩායමකි.

ඔවුන් දෙදෙනාට අමතරව චෙන්නායි කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරාන් සහ ඩැරන් බ්‍රාවෝ, ඉන්දියාවේ යුසුෆ් පතාන් සහ මුනාෆ් පටෙල් යන ක්‍රීඩකයින්ද මිලදීගෙන තිබේ.

මහීෂ් තීක්ෂණ සහ වේගපන්දු ක්‍රීඩක චාමික කරුණාරත්නට අමතරව ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටද වනිඳු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමටද දුෂ්මන්ත චමීර, ධනංජය ලක්ෂාන් මරාතා ඇරබියන්ස් කණ්ඩායමටද උපුල් තරංග සහ බිනුර ප්‍රනාන්දු නොදර්න් වොරියර්ස් කණ්ඩායමටද යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටද ක්‍රීඩා කිරීමට නියමිතය.

පස්වැනි වරට පැවැත්වෙන අබුඩාබි පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම මස 19 වනදා සිට දෙසැම්බර් මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.